ඇන්ත්‍රොපික් (Anthropic) සමාගම විසින් හඳුන්වා දුන් නවතම ‘Mythos’ කෘතිම බුද්ධි මාදිලිය මගින් මූල්‍ය පද්ධතිවලට එල්ල විය හැකි සයිබර් ආරක්ෂණ අවදානම් පිළිබඳව ඇමරිකානු මහා බැංකුවේ (Fed) සභාපති ජෙරොම් පවෙල් සහ භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙස්සන්ට් බැංකු ප්‍රධානීන් වෙත අනතුරු අඟවා තිබේ. ප්‍රධාන පෙළේ බැංකු ප්‍රධානීන් (CEOs) සමඟ පැවැත්වූ හදිසි හමුවකදී මෙම අනතුරු ඇඟවීම සිදු කර ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.
මෙම නව AI මාදිලියට ලොව ප්‍රධාන පෙළේ මෙහෙයුම් පද්ධති සහ වෙබ් බ්‍රවුසරවල පවතින දුර්වලතා හඳුනාගෙන ඒවා ප්‍රයෝජනයට ගැනීමේ (exploit) සුවිශේෂී හැකියාවක් පවතින බව හෙළි වී තිබේ. මේ හේතුවෙන්, එම මාදිලිය ප්‍රසිද්ධියේ නිකුත් කිරීම සීමා කිරීමට ඇන්ත්‍රොපික් සමාගම පියවර ගෙන ඇති අතර, දැනට එය මයික්‍රොසොෆ්ට් (Microsoft) සහ ගූගල් (Google) ඇතුළු තාක්ෂණික සමාගම් 40කට පමණක් සීමා කර ඇත.
මෙම හමුවට සිටිබෑන්ක් (Citigroup), මෝගන් ස්ටැන්ලි (Morgan Stanley) සහ ගෝල්ඩ්මන් සැක්ස් (Goldman Sachs) වැනි ප්‍රබල බැංකුවල ප්‍රධානීන් සහභාගී වී ඇති අතර, ඔවුන්ගේ සයිබර් ආරක්ෂණ පද්ධති මෙවැනි දියුණු AI ප්‍රහාරවලින් ආරක්ෂා කර ගැනීමට ගත යුතු පියවර පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබේ.
















