ප්‍රමුඛ පෙළේ කෘත්‍රිම බුද්ධි (AI) සමාගමක් වන Anthropic, ඇමරිකානු ආරක්ෂක මූලස්ථානය හෙවත් පෙන්ටගනයට එරෙහිව නඩු පැවරීමට තීරණය කර තිබේ. ඒ, ඇමරිකානු රජය විසින් පළමු වතාවට එරට සමාගමක් “සැපයුම් දාම අවදානමක්” (Supply Chain Risk) ලෙස නිල වශයෙන් නම් කිරීමත් සමඟයි. මෙවැනි නම් කිරීමක් හරහා Anthropic සමාගමේ තාක්ෂණය රජයේ අවශ්‍යතා සඳහා භාවිත කිරීමට තරම් ආරක්ෂිත නොවන බවට පෙන්ටගනය තීරණය කර ඇත.
Anthropic සමාගම පවසන්නේ, මහා පරිමාණ නිරීක්ෂණ කටයුතු (Mass Surveillance) සහ ස්වයංක්‍රීය අවි නිපදවීම වැනි කටයුතු සඳහා සිය AI මෙවලම්වලට පූර්ණ ප්‍රවේශය ලබා දීමට තමන් කළ ප්‍රතික්ෂේප කිරීම මෙයට හේතු වී ඇති බවයි. මෙම තීරණය නීත්‍යානුකූල නොවන බව පවසන සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ඩාරියෝ අමෝඩෙයි, අධිකරණය ඉදිරියේ මෙයට අභියෝග කරන බව අවධාරණය කළේය. මෙය කෘත්‍රිම බුද්ධි සමාගම් සහ රජයේ ආරක්ෂක අංශ අතර ඇති වූ සුවිශේෂී නීතිමය ගැටුමක් ලෙස සැලකේ.














