රට තුළ ඉන්ධන හිඟයක් ඇති වීමට, විදුලිය විසන්ධි කිරීමට හෝ කෘෂිකාර්මික පොහොර සහ ඖෂධ වර්ග සපයා ගැනීමේ අපහසුතාවක් මතු වීමට කිසිසේත්ම ඉඩ නොතබන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි. අමාත්‍ය මණ්ඩල රැස්වීමකදී ඒ මහතා මේ බව සඳහන් කළේය.
මෙම සාකච්ඡාවේදී වර්තමාන ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ඉහළ යෑමේ ප්‍රවණතාව සහ ශ්‍රී ලංකාව මුහුණ දී සිටින විදේශ විනිමය අර්බුදය පිළිබඳව ගැඹුරින් විශ්ලේෂණය කර තිබේ. ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ පසුගිය අප්‍රේල් මාසය වන විට මෙරට ආනයන පිරිවැය ඇමෙරිකානු ඩොලර් බිලියන දෙකක සීමාව ඉක්මවා ගොස් තිබූ බවයි. රටේ ඩොලර් සංචිතය සුරක්ෂිත කිරීමේ අරමුණින් මෝටර් රථ ආනයනය සඳහා අධිභාරයක් පැනවීමට රජය පියවර ගත්තේ එම ආර්ථික තත්ත්වය සැලකිල්ලට ගනිමිනි.
බලශක්ති හෝ පොහොර වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල හිඟයක් පැවතීම සමස්ත දේශයේම පැවැත්මට තර්ජනයක් වන බැවින්, එවැනි ව්‍යාකූලත්වයක් ඇති වීමට රජය ඉඩ නොතබන බව රාජ්‍ය නායකයා ප්‍රකාශ කළේය. වෙළෙඳපොළේ මිල ගණන් තවදුරටත් ඉහළ ගිය ද, අදාළ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හිඟයකින් තොරව අඛණ්ඩව සැපයීම රජයේ ප්‍රමුඛතාව බවත්, ඉදිරියේදී ආනයන පිරිවැය පාලනය කර ගැනීම සඳහා තවත් විශේෂ ක්‍රියාමාර්ග ගැනීමට අපේක්ෂා කරන බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් අමාත්‍ය මණ්ඩලයට දැනුම් දුන්නේය.
















