1971 අප්‍රේල් 05 වැනිදා සිදුකළ ජනතා නැගිටීමේදී දිවිපිදූ විරුවන් සිහිපත් කරමින් පවත්වනු ලබන “අප්‍රේල් විරු සමරුව” මෙවර 55 වැනි වරටත් වවුනියාවේදී අභිමානවත්ව පැවැත්විණි. ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය අප්‍රේල් 05 වැනිදා මෙම සැමරුම් උළෙල සංවිධානය කර තිබූ අතර, එහිදී පක්ෂයේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතා ඇතුළු අරගලයේදී දිවිපිදූ සියලු විරුවන් සිහිපත් කරමින් පුෂ්පෝපහාර දැක්වීම සිදු කරන ලදී.
මෙම අවස්ථාවට රජයේ අමාත්‍යවරුන් වන ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකරන්, සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ සහ මැදවච්චිය පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත කුමාර නවරත්න යන මහත්වරුන් එක්ව සිටියහ. එසේම වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්. තිලකනාදන් සහ එම්. ජගදීස්වරන් යන මහත්වරුන් ඇතුළු ජාතික ජන බලවේගයේ ක්‍රියාකාරීන් සහ ප්‍රදේශවාසීන් විශාල පිරිසක් ද මෙම සැමරුම් උළෙල සඳහා සහභාගී වී සිටියහ.














