ඉරානය සමඟ පවතින යුදමය වාතාවරණය හමුවේ ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල ශීඝ්‍රයෙන් ඉහළ යාම නිසා එරට ජනතාවට එල්ල වී ඇති පීඩනය අවම කිරීම සඳහා ඉන්ධන බද්ද අඩකින් අඩු කිරීමට ඕස්ට්‍රේලියානු රජය තීරණය කර තිබේ. ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් (Anthony Albanese) අද (30) ප්‍රකාශ කළේ ඉදිරි මාස තුනක කාලය සඳහා පෙට්‍රල් සහ ඩීසල් මත පනවා ඇති බද්ද මෙලෙස අඩක් දක්වා අඩු කරන බවයි.
මෙම බදු සහනය (Fuel Excise) හරහා ඉන්ධන ලීටරයක මිල ඕස්ට්‍රේලියානු ශත 26.3කින් පමණ අඩු වනු ඇතැයි අපේක්ෂා කෙරේ. කැන්බරා නුවර පැවති මාධ්‍ය හමුවකදී අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ ලෝකයේ අනෙක් පස සිදුවන යුද්ධයක බලපෑම ඕස්ට්‍රේලියානු වැසියන්ට ද දැනෙමින් පවතින බැවින් මෙම සහනය ලබාදීමට කටයුතු කළ බවයි. මීට අමතරව බර වාහන සඳහා අය කරන මාර්ග ගාස්තුව ද මාස තුනකට අත්හිටුවීමට රජය පියවර ගෙන ඇත.
මෙම සහන මාලාව වෙනුවෙන් ඕස්ට්‍රේලියානු රජයට ඩොලර් බිලියන 2.55ක (ඇමරිකානු ඩොලර් බිලියන 1.75ක) පිරිවැයක් දැරීමට සිදුවනු ඇතැයි ගණන් බලා තිබේ. මැදපෙරදිග අර්බුදය හේතුවෙන් ගෝලීය වශයෙන් ඉන්ධන සැපයුම අඩාල වීම හමුවේ සිය රටේ ආර්ථිකය සුරක්ෂිත කර ගැනීම සඳහා ඕස්ට්‍රේලියාව ගත් මෙම පියවර ජාත්‍යන්තර අවධානයට ලක්ව ඇත.














