ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ ලැට්‍රෝබ් නිම්නයේ (Latrobe Valley) පිහිටි ග්‍රාමීය නිවසක් තුළ තිබී 47 හැවිරිදි ශ්‍රී ලාංකික කාන්තාවක වන චමින්දිකා ජයවර්ධන මහත්මියගේ සිරුර හමුවී තිබේ. ඇය සමඟ ඇයගේ සහකරු වූ 46 හැවිරිදි ආරොන් හැමන්ඩ් (Aaron Hammond) නමැත්තාගේ සිරුර ද එම නිවස තුළම තිබී හමු වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෝවෙල් (Morwell) අසල පිහිටි හර්නස් ඕක් (Hernes Oak) ප්‍රදේශයේ නිවසකින් මෙම සිරුරු හමුවී ඇති අතර, අසල්වාසීන් පවසන්නේ පසුගිය සෙනසුරාදා රාත්‍රියේ නිවස දෙසින් වෙඩි හඬ වැනි විශාල ශබ්ද දෙකක් ඇසුණු බවයි. කෙසේ වෙතත්, එය සතුන්ට එල්ල කළ වෙඩි ප්‍රහාරයක් හෝ ගිනිකෙළි හඬක් වන්නට ඇතැයි ඔවුන් එව අවස්ථාවේ සැක කර තිබේ.
වික්ටෝරියා පොලිසිය පවසන්නේ මූලික විමර්ශන අනුව මෙම මරණ සම්බන්ධයෙන් වෙනත් පිටස්තර පුද්ගලයෙකු සොයා පරීක්ෂණ පවත්වන්නේ නැති බවයි. එමඟින් මෙය මනුෂ්‍ය ඝාතනයක් සහ සියදිවි නසාගැනීමක් විය හැකි බවට ඇති සැකය තහවුරු වේ. මරණවලට නිශ්චිත හේතුව සෙවීම සඳහා මේ වන විටත් විශේෂ පරීක්ෂණ ක්‍රියාත්මක වෙමින් පවතී.














