බණ්ඩාරවෙල ධර්මාශෝක විද්‍යාලයේ විද්‍යාගාරය තුළ පසුගිය මාර්තු 23 වනදා සිදු වූ අනතුර සම්බන්ධයෙන් බරපතළ තුවාල ලබා ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන සිසුවිය ඉතා සංවේදී කරුණු කිහිපයක් අනාවරණය කර තිබේ. ඇය පවසන පරිදි මෙය බීකරයක් පිපිරීමක් නොව, ගුරුවරියකගේ නොසැලකිලිමත්කම නිසා සිදු වූ ගිනි ගැනීමකි. ශාක පත්‍රවල පිෂ්ඨය පරීක්ෂා කිරීමේ පරීක්ෂණය අතරතුර ස්ප්‍රීතු ලාම්පුවේ ඉන්ධන අවසන් වී ඇති අතර, දැල්වෙමින් තිබූ ලාම්පුවට ස්ප්‍රීතු පිරවීමට ගුරුවරිය උත්සාහ කර ඇත. එහිදී ගින්න ඇවිලී ඇති අතර, බියට පත් ගුරුවරිය අත තිබූ ස්ප්‍රීතු කෑනය සිසුවිය දෙසට විසි කර තිබේ. මේ හේතුවෙන් සිසුවියගේ සිරුරේ ගින්න ඇවිලී ඇති අතර, පන්තියේ ඩෙස්ක් එකකට පාදය සිරවීම නිසා ඇයට වහාම ඉන් ඉවත් වීමට ද නොහැකි වී ඇත.
ගින්න ඇවිලුණු අවස්ථාවේ විද්‍යා ගුරුවරිය සිසුවියට උදව් නොකර විද්‍යාගාරය තුළ රැඳී සිට ඇති අතර, සිසුවිය තනිවම බුදු මැදුර අසලට දිව ගොස් ගසක අත්තක් කඩාගෙන ගින්න නිවීමට උත්සාහ කර තිබේ. පසුව වෙනත් ගුරුවරියන් පැමිණ ඇයට උදව් කර ඇති බව සඳහන් වේ. බදුල්ල රෝහලේ වෛද්‍යවරුන් මෙය පොලීසියට දන්වන ලෙස උපදෙස් දුන්න ද, බල ප්‍රදේශය සම්බන්ධ ගැටලු පවසමින් පොලීසිය පැමිණිල්ල භාර ගැනීම ප්‍රමාද කර ඇති බවට සිසුවියගේ මව චෝදනා කරයි.
දැනට ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන සිසුවියගේ මුහුණ, බෙල්ල සහ අත්වල ගැඹුරු පිළිස්සුම් තුවාල පවතින අතර, ඇය මේ වන විට රෝහල තුළදීම ඩෙංගු රෝගයට ද ගොදුරු වී සිටී. මෙම සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් මෙතෙක් ආරම්භ වී නොමැති බවත්, පාසල් බලධාරීන් සිද්ධිය යටපත් කිරීමට උත්සාහ කරන බවත් සිසුවියගේ පාර්ශවයෙන් වැඩිදුරටත් චෝදනා එල්ල වේ.














