බංග්ලාදේශයේ අතිශය දුර්ලභ සුදු පැහැති (ඇල්බිනෝ) මීහරකෙකු, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කොණ්ඩයට සමාන රන්වන් පැහැති කොණ්ඩයක් හිස මත තිබීම හේතුවෙන් “ඩොනල්ඩ් ට්‍රම්ප්” යන අනුවාර්ථ නාමයෙන් හඳුන්වනු ලබයි. මෙම මීහරකා සමාජ මාධ්‍ය හරහා අතිශය ප්‍රසිද්ධියට පත්වීම නිසා එළඹුණු ඊද් උල්-අල්හා උත්සවයේදී සිදුකිරීමට නියමිතව තිබූ පූජාමය බිලිදීමෙන් ගැලවීමට වාසනාව ලැබී තිබේ.
මෙම මීහරකා බිලිදීම සඳහා දැනටමත් විකුණා තිබුණ ද, සමාජ මාධ්‍ය තුළ ඔහුගේ ඡායාරූප සහ වීඩියෝ වයිරල් වීමත් සමඟ එම ස්ථානය නැරඹීමට අතිවිශාල පිරිසක් ඇදී ඒම නිසා ආරක්ෂක ගැටලු සහ මහජන උනන්දුව මත බලධාරීන් මැදිහත් වී ඇත.
බංග්ලාදේශ රජයේ නියෝගයකට අනුව, මෙම සත්වයා පූජා කිරීම නතර කර, සත්වයා මිලදී ගත් තැනැත්තාට මුදල් ආපසු ලබා දී, එම සත්වයා ඩකා නුවර පිහිටි ජාතික සත්වෝද්‍යානය වෙත රැගෙන යාමට පියවර ගෙන තිබේ.
කිලෝග්‍රෑම් 700ක් පමණ බරින් යුත් මෙම මීහරකාට ජාතික සත්වෝද්‍යානයේදී විශේෂ ආරක්ෂාවක් සහ රැකවරණයක් ලැබෙනු ඇති අතර, සති දෙකක නිරෝධායන කාලයකින් පසු මහජනතාවට නැරඹීම සඳහා අවස්ථාව ලැබෙනු ඇත.














