ශ්‍රී පාද වන්දනා සමය වෙසක් පෝය දිනය යෙදෙන අනිද්දා (30) අවසන් වන බව ශ්‍රී පාදස්ථානාධිපති, ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කුලපති, සබරගමු රත්නපුර මහ දිසාවේ ප්‍රධාන සංඝ නායක ආචාර්ය බෙන්ගමුවේ ශ්‍රී ධම්මදින්න නා හිමියෝ නිවේදනය කරති.
වෙසක් පොහෝ දින ශ්‍රී පාද උඩ මළුවේ විශේෂ ආගමික වැඩසටහන් රැසක් පැවැත්වීමට නියමිතය. ඒ අනුව, පසුදින (31) උදෑසන බුද්ධ පූජාව පැවැත්වීමෙන් පසු ශ්‍රී පාද උඩ මළුවේ තැන්පත් කර ඇති සධාතුක කරඬුව සහ සමන් දේව ප්‍රතිමාව ඇතුළු දේව ආභරණ රත්නපුර පලාබද්දර මාර්ගය සහ කුරුවිට එරත්න මාර්ගය ඔස්සේ පෙරහැර දෙකක් ලෙස පැල්මඩුල්ල ශ්‍රී පාද රජමහා විහාරස්ථානය වෙත වැඩම කරවනු ලැබේ.
එමෙන්ම, උඩ මළුවේ දහවල් බුද්ධ පූජාවෙන් පසු තවත් පෙරහැරක් නල්ලතන්නිය දක්වා වැඩම කර, එදින පස්වරුවේ බගවන්තලාව, බළන්ගොඩ මාර්ගය සහ නල්ලතන්නිය, ලක්ෂපාන, අවිස්සාවේල්ල, රත්නපුර මාර්ග ඔස්සේ පැල්මඩුල්ල රජමහා විහාරස්ථානය දක්වා තවත් පෙරහැර දෙකක් ගමන් කරනු ඇත.
මෙම මාර්ග 4ක් ඔස්සේ වැඩම කරන සධාතුක කරඬුව, සමන් දේව ප්‍රතිමාව සහ ආභරණ එදින රාත්‍රියේ සිට පසුදින (31) දහවල් දක්වා පැල්මඩුල්ල ශ්‍රී පාද රජමහා විහාරස්ථානයේ තැන්පත් කර තබනු ලැබේ. එහිදී පැවැත්වෙන ආගමික වතාවත් සහ දේව පූජාවලින් අනතුරුව, ශ්‍රී පාද අවාරය අවසන් වන තෙක් එම පූජා භාණ්ඩ ගල්පොත්තාවල ශ්‍රී පාද රජමහා විහාරස්ථානය වෙත වැඩම කරවා තැන්පත් කර තැබීමට කටයුතු යොදා ඇත.














