1993 වසරේ ඉශ්‍රායලයේ ‘ලිකුඩ්’ පක්ෂ නායකත්ව තරගය අතරතුරදී, එවකට තමන්ගේ උපායමාර්ගික උපදේශිකාවක වූ ආචාර්ය රූත් බාර් සමග පැවැති පරදාර සේවනය පිළිබඳව බෙන්ජමින් නෙතන්යාහු විසින් සජීවී රූපවාහිනී නාලිකාවක් ඔස්සේ ප්‍රසිද්ධියේ පාපොච්චාරණය කිරීමේ සුප්‍රකට සිදුවීමෙන් වසර 33කට පසුව, රූත් බාර් ප්‍රථම වරට මාධ්‍ය හමුවේ අදහස් දක්වා ඇති බව WION ඇතුළු ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
තමන් රචනා කළ Brain under Influence නමැති නවතම ග්‍රන්ථය එළිදැක්වීමට සමගාමීව මාධ්‍යවේදී බෙන් කැස්පිට් වෙත සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් ඇය සඳහන් කර ඇත්තේ, නෙතන්යාහු එදින සජීවී නාලිකාවට ගොස් ප්‍රේම සම්බන්ධය එළිදැක්වීමට නියමිත බව තමන් දැනගත්තේ ඔහු විකාශනය ආරම්භ කිරීමට මොහොතකට පෙර බවයි. එමෙන්ම, එම කාලයේදී තමන්ගේ රහස් සම්බන්ධතාව දැක්වෙන වීඩියෝ පටයක් අලෙවි කරන බවට නෙතන්යාහුගේ බිරිඳ වන සාරා නෙතන්යාහුට දුරකථන ඇමතුමකින් බ්ලැක්මේල් කර තිබුණද, සැබවින්ම එවැනි වීඩියෝ පටයක් පැවැතුණේ නැති බවත්, එම සිදුවීමත් සමග තමන්ව නෙතන්යාහුගේ කදවුරෙන් සම්පූර්ණයෙන්ම ඉවත් කළ බවත් ඇය පවසයි. අද වන විට ඉශ්‍රායල දේශපාලනය විනාශ කරන නෙතන්යාහුගේ සංවිධානාත්මක විෂ ප්‍රචාරණ යන්ත්රණයේ මුලපිරීම ආරම්භ වූයේ එදා බවද ඇය වැඩිදුරටත් චෝදනා කර සිටියි.














