පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාව රටේ ජනාධිපතිවරයා ලෙස පත් කිරීමේ සටන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (SLPP) ලෙස අඛණ්ඩව ඉදිරියට ගෙන යන බවත්, ඔහුව සිරගත කර එම ජනතා ගමන නැවැත්වීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට නොහැකි වන බවත් පක්ෂයේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් මහතා පවසයි.
කොළඹදී පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා පෙන්වා දුන්නේ, ලබන 12 වන දින අනුරාධපුරයේදී පැවැත්වීමට නියමිත දැවැන්ත ජන රැළියට එකතුවන අතිවිශාල ජන ගංගාව පිළිබඳව ආණ්ඩුවට සහ ජනාධිපතිවරයාට බියක් දැනී ඇති බැවින්, හුදෙක් එම ජන රැළිය වැළැක්වීමේ අරමුණින් නාමල් රාජපක්ෂ මහතාව ඉලක්ක කරගනිමින් මෙම මර්දනය දියත් කර ඇති බවයි. කෙසේ වෙතත්, වත්මන් ආණ්ඩුවේ මෙම දේශපාලන දඩයම් හමුවේ පොහොට්ටුවේ දේශපාලන ගමන කිසිදු ලෙසකින් නැවැත්විය නොහැකි බවත්, අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ මෙම දේශපාලන ගණන් හැදීම සම්පූර්ණයෙන්ම වැරදී ඇති බවත් කාරියවසම් මහතා වැඩිදුරටත් දැඩි ලෙස අවධාරණය කළේය.














