කැනඩාවේ ටොරොන්ටෝ නගරයේ පිහිටි අමෙරිකානු කොන්සල් කාර්යාලය ඉලක්ක කර ගනිමින් ඊයේ (මාර්තු 10) අලුයම එල්ල වූ වෙඩි ප්‍රහාරයක් සම්බන්ධයෙන් එරට ආරක්ෂක අංශ පුළුල් පරීක්ෂණ ආරම්භ කර තිබේ. සුදු පැහැති හොන්ඩා (Honda CRV) වර්ගයේ ජීප් රථයකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු අලුයම 4:30ට පමණ මෙම ප්‍රහාරය එල්ල කර පලා ගොස් ඇති අතර, ප්‍රහාරයෙන් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති බව වාර්තා වේ.
රාජකීය කැනේඩියානු පොලිසිය (RCMP) මෙය ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන සිදුවීමක් ලෙස හඳුන්වා දී ඇති අතර, මේ වන විට ඔටාවාහි පිහිටි තානාපති කාර්යාල සහ අමෙරිකානු මෙන්ම ඊශ්‍රායල කොන්සල් කාර්යාලවල ආරක්ෂාව දැඩි කිරීමට පියවර ගෙන ඇත. අදාළ ගොඩනැගිල්ල ඉතා ආරක්ෂිත සහ ශක්තිමත් ලෙස නිර්මාණය කර ඇති බැවින් වෙඩි උණ්ඩවලින් එහි ඇතුළතට හානියක් සිදුව නොමැති බව පොලිසිය තහවුරු කරයි.
ඔන්ටාරියෝ ප්‍රාන්තයේ ප්‍රිමියර් ඩග් ෆෝර්ඩ් (Doug Ford) මහතා මෙම ප්‍රහාරය දැඩි ලෙස හෙළා දකිමින් ප්‍රකාශ කළේ මෙය බිය ගැන්වීම සඳහා සිදු කරන ලද පිළිකුල් සහගත ක්‍රියාවක් බවයි. මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හමුවේ ලොව පුරා ක්‍රියාත්මක වන “නිද්‍රාශීලී සෛල” (sleeper cells) මගින් මෙවැනි ප්‍රහාර එල්ල විය හැකි බවට සැක කරන බවත්, එවැනි කඩාකප්පල්කාරී පිරිස් සොයාගෙන නීතිය හමුවට පමුණුවන බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.














