27 April 2024
#දේශීය

මම පුරවැසියෙකු විදිහට සතුටු වෙනවා – CID එලියට ආ මංගල කියයි

අවතැන්වූ ජනතාවගේ මුලික අයිතියක් වන ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබා දීම සඳහා මැදිහත්වීමට සිදුවීම ගැන සතුටුවන බව හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

ඊයේ (14) දින පස්වරු 2.00ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙත කැඳවනු ලැබූ මංගල සමරවීර මහතාගෙන් පැය පහක් පමණක් ප්‍රශ්ණ කර තිබෙන අතර ලබන අඟහරුවාදා (19) පෙරවරු 9.00ට නැවත පැමිණෙන ලෙස දැනුම් දී සිදු කර තිබේ.

කෙසේ වෙතත් කොළඹ ආපරාධ විමර්ශන ඒකකයෙන් පිටතට පැමිණි මංගල සමරවීර මහතා කියා සිටියේ මෙම පැමිණිල්ල කර ඇත්තේ පසුගිය ජනාධීපතිවරණයේදී පුත්තලම දිස්ත්‍රික්කයේ පදිංචිව සිටින අවතැන් වූවන් 12,500 දෙනෙකුට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා උතුරු පළාතට යාමට ඒමට ප්‍රවාහන පහසුකම් ලබාදීමට, පුද්ගලයන් නැවත පදිංචි කිරීමේ අමාත්‍යංශයේ යටතේ ඇති ‘අවතැන් වූවන් නැවත පදිංචි කිරීමේ ව්‍යාපෘති කළමනාකරණ ඒකකය’ මගින් පුත්තලම ශ්‍රී ලංගම ඩිපෝවට මුදල් ගෙවීමට මුදල් අමාත්‍යංශයෙන් අනුමැතිය ලබා දුන්නේ ද යන කාරණය සම්බන්ධයෙන් බවයි.

ඒ සම්බන්ධයෙන් ස්වාමින් වහනේසේ නමක් විසින් සිදු කල පැමිනිල්ලක් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම විමර්ශනය ආරම්භකර තිබේ. පුත්තලමේ අවතැන් වු ජනතාවට පසුගිය ජනාධිපතිවරණ සමයේ ඡන්දය ප්‍රකාශ කිරීම සදහා බස් රථ 22 කින් පුත්තලමේ සිට මන්නාරම දක්වා රැගෙන යාමට රුපියල් ලක්ෂ 95 ක මුදලක් රජයෙන් ගෙවීමට අනුමැතිය ලබා දී ඇතැයි කියමින් උන්වහන්සේ මෙම පැමිණිල්ල ගොනු කර ඇත.

එල්ටීටීඊ සංවිධානයේ බලපෑමට ලක් ව අවතැන්වූ මේ රටේ පුරවැසියන් පිරිසකට ඡන්ද අයිතිය ලබා දීමට හැකිවීම පිළිබඳව තමන් මුදල් ඇමැති වශයෙන් පමණක් නොව, ශ්‍රී ලාංකික පුරවැසියකු වශයෙන් ද සතුටු වෙන බව තමා රහස් පොලිසියේ ප්‍රශ්න කිරීම හමුවේ පැවසූ බව මංගල සමරවීර මහතා කියා සිටියේය.

පැය පහකට අධික කාලයක් තමන්ව ප්‍රශ්න කළ බවත් එහි දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වැදගත් ආකාරයට ඔවුන්ගේ රාජකාරි සිදු කළ බව ද පැවසූ හිටපු අමාත්‍යවරයා, එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් මිට දසක 3කට ඉහත දී උතුරෙන් පලවා හරින ලද මුස්ලිම් අවතැන්වුවන්ට ස්ථිර විසඳුමක් ලබාදීමට නොහැකිවීම ගැන රාජ්‍ය පාලනයට හවුල්ව ඇමතිවරයකු ලෙස ද කටයුතු කර ඇති තමා ද එහි වගකිව භාර ගත යුතු බවයි. තමා ද එහි වරදකරුවකු බව ඔහු කියා සිටියේය.

අවතැන්වූ ජනතාවකගේ මුලික අයිතියක් වෙනුවෙන්, එනම් ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය වෙනුවෙන් මැදිහත්වීමට සිදුවීම ගැන සතුටුවන බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

 

දිලිනි සමන්මලි

 

 

පෙර පුවත 

 

මංගල CID යට යයි. .. 

Leave a comment

Your email address will not be published. Required fields are marked *