සංඝ සංස්ථාව විනයධරව පවත්වාගෙන යෑම සඳහා අවශ්‍ය නීති රීති කඩිනමින් සම්පාදනය කර දීමට රජය කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (27) පස්වරුවේ තිහගොඩ, මිදෙල්ලවල පුරාණ රජමහා විහාරස්ථානයේ පැවැති රාජ්‍ය වෙසක් මහෝත්සවයේ සමාරම්භක අවස්ථාවට එක්වෙමිනි.
මෙහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේ, ධර්මය සහ විනය බිඳවැටුණු විට සමාජය තුළ අපරාධ සහ අපචාර ඉහළ යන බවයි. විහාර දේවාලගම් පනතේ 41 සහ 42 වගන්ති සංශෝධනය කිරීම සම්බන්ධයෙන් ත්‍රෛනිකායික මහා නායක ස්වාමීන් වහන්සේලා සමඟ සාකච්ඡා කර අවසන් එකඟතාවකට පැමිණ ඇති බවත්, ඒ අනුව භික්ෂු විනය ආරක්ෂා කිරීමට අවශ්‍ය නීතිමය රාමුව කඩිනමින් සකස් කරන බවත් ජනාධිපතිවරයා පැවසීය.
බුදු දහම යනු ලෝකවාසීන්ගේ විමුක්තිය සහ හිතසුව පිණිස දේශනා කළ දහමක් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, රටේ ආර්ථික ප්‍රබෝධයක් ඇති කිරීම සඳහා දැහැමි සමාජයක් සහ ආගමික ප්‍රබෝධයක් අත්‍යවශ්‍ය බව සඳහන් කළේය. එසේම, නොවැම්බර් මාසයේ ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන ලෝක බෞද්ධ මහා සම්මේලනය මෙරට ආගමික ප්‍රබෝධයේ සුවිශේෂී අවස්ථාවක් වනු ඇති බවද ඔහු ප්‍රකාශ කළේය.
ජූනි 01 වැනිදා දක්වා පැවැත්වෙන මෙවර රාජ්‍ය වෙසක් මහෝත්සවය ‘දක්ෂිණා ප්‍රභා’ තේමාව යටතේ මාතර නගරය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වේ. ප්‍රතිපත්ති පූජා කලාපය සහ ආමිස පූජා කලාපය වශයෙන් මෙහි වැඩසටහන් සංවිධානය කර ඇති අතර, නවීන තාක්ෂණය, AI තාක්ෂණය සහ දකුණේ සාම්ප්‍රදායික කලා අංගයන්ගෙන් මෙම උත්සවය සමන්විත වේ.
මෙම අවස්ථාවට මහා සංඝරත්නය, මැති ඇමැතිවරුන්, විදේශ තානාපතිවරුන් සහ විශාල පිරිසක් සහභාගි වී සිටියහ.














