වර්තමානයේ පවතින ගෝලීය අර්බුදයෙන් බිඳ වැටෙන ආර්ථිකය ගොඩනැගීමට සහ දරිද්‍රතාවෙන් පීඩාවට පත් ජනතාව සමෘද්ධිමත් කිරීමට ජාත්‍යන්තර සහ කලාපීය සහයෝගීතාව වැඩිදියුණු කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
මුහුණදීමට අභියෝග තිබුණ ද, බිම්ස්ටෙක් රටවල අනාගතය පැහැදිළි හා ශක්තිමත් බව ද ජනාධිපතිවරයා කියා සිටියේය.
ජනාධිපතිවරයා මේ බව පැවසුවේ Online මාර්ගය ඔස්සේ අද (30) පෙරවරුවේ පැවති “බෙංගාල බොක්ක ආශ්රිත බහුආංශික තාක්ෂණික සහ ආර්ථික සහයෝගීතා” (බිම්ස්ටෙක්) සංවිධානයේ පස්වැනි රාජ්‍ය නායක සමුළුවේ දීය.
මෙවර සමුළුවේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට හිමි විය.
බිම්ස්ටෙක් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සහ අමාත්‍ය මණ්ඩල රැස්වීම ශ්‍රී ලංකාව, ඉන්දියාව, බංග්ලාදේශය, භූතානය, නේපාලය සහ තායිලන්තය යන රටවල නියෝජනයෙන් මාර්තු 28 සහ 29 කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ පැවැත්විණ.
බෙංගාල බොක්ක ආශ්රිත දකුණු හා අග්නිදිග ආසියානු රටවල තාක්ෂණික හා ආර්ථික සහයෝගීතාව ඇති කිරීමේ අරමුණින් 1997 ජුනි මාසයේ තායිලන්තයේ බැංකොක් අගනුවර දී බිම්ස්ටෙක් සංවිධානය ස්ථාපිත කෙරිණ. වාණිජ්‍ය, ආයෝජන, සංචාරක, මානව සම්පත් සංවර්ධනය, කෘෂිකර්ම, ධීවර, ප්‍රවාහන හා සන්නිවේදන, අධ්‍යාපන, වෘත්තීය හා තාක්ෂණික ක්ෂේත්‍ර සඳහා පුහුණු හා පර්යේෂණ පහසුකම් සැපයීම ද ආර්ථික, සමාජ, තාක්ෂණික හා විද්‍යාත්මක ක්ෂේත්‍ර සඳහා ක්‍රියාකාරී සහ අන්‍යෝන්‍ය සහයෝගීතාව ද මින් අපේක්ෂා කෙරේ.
කලාපයේ වෙළෙඳ හා ආයෝජන වැඩිකිරීමට උත්සාහ දැරිය යුතුය. වසර දෙකකට ආසන්න විරාමයකින් පසු ප්‍රාණවත් වන සංචාරක කර්මාන්තය බිම්ස්ටෙක් රටවලට විශාල ශක්තියක් සපයයි. එබැවින් සංචාරක කර්මාන්තය පිළිබඳ බිම්ස්ටෙක් න්‍යාය පත්‍රයේ ප්‍රධාන අවධානය ලබා දිය යුතු බව ජනාධිපතිවරයා සඳහන් කළේය.
බෙංගාල බොක්ක කලාපය ගෝලීය සම්බන්ධතා හා වෙළෙදාම සඳහා අතිශයින් වැදගත්ය. මේ හරහා ඇති ජාත්‍යන්තර නැව් මාර්ග ගෝලීය ආර්ථිකයේ හදවත ක්‍රියාත්මක වීමට උපකාරී වේ. සමුද්‍රීය කලාපයට මෙන්ම රාජ්‍යයන්ට ද එල්ලවන තර්ජන මැඩලීම සඳහා සමුද්‍රාශ්‍රිත ජාතීන් එක්ව කටයුතු කිරීමේ අවශ්‍යතාවය ජනාධිපතිවරයා අවධාරණය කළේය.
බිම්ස්ටෙක් සාමාජික රටවල් අතර බුද්ධි තොරතුරු බෙදාගැනීම සහ අන්තර් රාජ්‍ය සහ අන්තර් නියෝජිතායතන අතර සහයෝගීතාවේ අවශ්‍යතාව පැහැදිළි කළ ජනාධිපතිතුමා මේ හරහා සියලු ජාතීන්ට හිතකර ලෙස කලාපයේ ආරක්ෂාව වැඩිදියුණු කළ හැකි බව ද පෙන්වා දුන්නේය.
බිම්ස්ටෙක් ලේකම් කාර්යාලයේ වැඩ කටයුතු සාර්ථකව කරගෙන යාම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියනයක ආධාර මුදලක් ලබාදෙන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සඳහන් කළේය.
සංවිධානයේ රටවල් අතර ක්‍රියාකාරීත්වය සහ සහයෝගීතාවය ඉහළ නැංවීම සඳහා අවශ්‍ය නීති රාමු සැකසීමට ද කාලය පැමිණ තිබේ. කෘෂිකර්මාන්තය ඇතුළු අනෙකුත් නිෂ්පාදනයන්හි අගය එකතු කිරීමෙන් මෙම අංශ දියුණු කිරීමේ වැදගත්කම ද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
ලෝක කොවිඩ් වසංගතය සේම අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ යාම හේතුවෙන් කලාපයේ ජනතාවගේ ජීවන තත්ත්වයට බලපෑම් එල්ල වී තිබේ. ඒ සඳහා සාමූහිකව ක්‍රියා කිරීමට සියලු දෙනා සූදානම් විය යුතු බව බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ශෙයික් හසීනා මහත්මිය කියා සිටියාය. එසේම සංවිධානයේ ක්ෂේත්‍ර 14ක් යටතේ පවතින සහයෝගීතාව සම්පූර්ණයෙන් බලාත්මක කිරීම සඳහා සියලු සාමාජික රටවල් එකතු වී කටයුතු කළ යුතු බව ද ශෙයික් හසීනා මහත්මිය සඳහන් කළාය.
කලාපයේ ඩිජිටල් සම්බන්ධතා පහසුකම් වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාව පෙන්වා දුන් භූතාන අගමැති වෛද්‍ය ලෝටේ ට්ෂෙරීන් මහතා නොමිලයේ හෝ දැරිය හැකි මිලට අන්තර්ජාල පහසුකම් ජනතාවට ලබාදීමට කටයුතු කළ යුතු බව ද පැවසීය.
ත්‍රස්තවාදී ක්‍රියා පිටුදැකීම, මිනිස් ජාවාරමට සහ මුදල් විශූද්ධිකරණයට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට වැඩිදියුණු කළ තාක්ෂණය සහ සහයෝගයෙන් කටයුතු කිරීමේ අවශ්‍යතාව නේපාල අග්‍රාමාත්‍ය ශේර් බහදුර් ඩෙවුබා මහතා පෙන්වා දුන්නේය.
පවතින අභියෝග හමුවේ ආහාර සුරක්ෂිතාව ප්රමුඛ කාර්යයක් සේ සලකා කටයුතු කළ යුතු බව මියන්මාර් විදේශ කටයුතු අමාත්‍ය වුන්නා මුන්ග් ල්වින් පැවසීය.
තිරසර සහ පරිසර හිතකාමී සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනයට සාමාජික රටවලට සහාය දීමට තායිලන්තය සූදානමින් සිටින බව තායිලන්ත අගමැති ප්‍රයුත් චාන්-ඕ-චා මහතා ප්‍රකාශ කළේය.
බිම්ස්ටෙක් ප්‍රඥාප්තිය සම්මත කරගැනීම, නීතිමය ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීම හා 2022 – 2023 වසර සඳහා බිම්ස්ටෙක්හි සභාපතීත්වය තායිලන්තයට භාර දීම ද සමුළුවට සමගාමීව සිදු කෙරිණ.
ජනාධිපතිවරයා බිම්ස්ටෙක් සමුළුව අමතා කළ කතාවේ පහත පරිදි සම්පුර්ණයෙන්.
“බිම්ස්ටෙක් – ප්‍රත්‍යාස්ථ කලාපයක්, සමෘද්ධිමත් ආර්ථිකයක්, නිරෝගී ජනතාවක් උදෙසා”
ගෞරවනීය රාජ්‍ය නායකයිනි,
සම්භාවනීය නියෝජිතයිනි,
ආරාධිතයිනි,
නෝනාවරුනි මහත්වරුනි,
ප්‍රථම වරට මාර්ගගත ක්‍රමය ඔස්සේ පවත්වනු ලබන 5 වැනි බිම්ස්ටෙක් සමුළුව සඳහා ඔබව පිළිගැනීමට අවස්ථාව ලැබීම පිළිබඳ මම සතුටු වෙමි.
ආරම්භයේදී ම, ඔබගේ ගෞරවනීය සහභාගීත්වය පිළිබඳ මම ඔබට ස්තූතිවන්ත වන අතර, මෙම සමුළුව සංවිධානය කිරීමට වෙහෙස මහන්සි වූ බිම්ස්ටෙක් මහලේකම්තුමා, ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩලය සහ අනෙකුත් සියලුම දෙනාට ස්තූතිය පළ කරමි.
අද අපි හමුවන්නේ අප සියලුදෙනාටම අභියෝගාත්මක මොහොතක ය.
කොවිඩ් – 19 වසංගතයත් සමග ලෝකය මේ සියවසේ දරුණුතම අර්බුදයට මුහුණ දී ඇත.
ලොව පුරා සිටින මිලියන සංඛ්‍යාත ජනතාවක් පීඩා ලැබීම සහ සියලු අහිමි වූ ජීවිත සඳහා මම මාගේ බලවත් සංවේගය පළ කරමි.
වසංගතය සියලුම ජාතීන්ට දරුණු ලෙස බලපෑවේය. බොහෝ රටවල් සැලකිය යුතු ආර්ථික, සමාජීය සහ දේශපාලන වෙනස්කම්වලට ලක් විය.
එහි බලපෑම ගෝලීය ආර්ථිකයට අඛණ්ඩ බලපෑමක් සිදුකරන අතර ඉහළ යන තෙල් මිල, ප්‍රවාහන ගාස්තු සහ සැපයුම් සීමා කිරීම් ලොව පුරා උද්ධමනය ඇතිකර ඇත.
ඉහළ යන ජීවන වියදම සමගින් ගණනය කළ නොහැකි සංඛ්‍යාවක ව්‍යාපාර වසා දැමීම නිසා මිලියන ගණනක් තම ජීවනෝපාය අහිමි වීමෙන් පීඩා විදින අතර, ආර්ථික අවස්ථා පටු වීම සහ සමහර අවස්ථාවල සමස්ත කර්මාන්ත කඩා වැටීම දක්නට හැකි විය.
මෑත කාලයේ ඇති වූ අනෙකුත් ගෝලීය අර්බුද සමග එක්ව, මෙම නරක අතට හැරෙන ආර්ථික තත්ත්වයන් විශේෂයෙන්ම මිලියන ගණනක් දරිද්‍රතාවයෙන් පීඩා විඳින ජනගහනයක් ඇති සංවර්ධනය වෙමින් පවතින ජාතීන්ට සෘණාත්මක බලපෑමක් ඇති කර ඇත.
මෙම තත්ත්වයෙන් ගොඩඒම සඳහා ඉදිරි මාස සහ වසරවල් තුළ ජාත්‍යන්තර සහ අන්තර් කලාපීය සහයෝගීතාව වැඩිදියුණු කිරීමට අවශ්‍ය වනු ඇත.
ගෞරවනීය ආරාධිතයිනි,
වසංගතයට එරෙහි පූර්ව ක්‍රියාමාර්ග තුළින් විශාල ජීවිත හානි වළක්වා ගැනීමට හැකි වීම,
ශ්‍රී ලංකාව ලද ජයග්‍රහණයකි.
ශක්තිමත් මහජන සෞඛ්‍ය ව්‍යුහය සමගින්, සමස්ත රජයේ එන්නත්කරණ ප්‍රවේශය මගින්, වයස අවු. 12ට වැඩි සියලුම ශ්‍රී ලාංකිකයන්ගෙන් 82%කට වැඩි ප්‍රමාණයක් දැනටමත් පූර්ණ වශයෙන් එන්නත්කරණය කර ඇති අතර 54%ක් බූස්ටර් මාත්‍රාව ලබාගෙන ඇත. මෙය අපට බොහෝ සමාජ සීමාවන් අවම කර යම් මට්ටමක සාමාන්‍ය තත්ත්වයකට පැමිණීමට ඉඩ සලසා ඇත.
කෙසේ වෙතත්, අනෙකුත් බොහෝ සංවර්ධනය වෙමින් පවතින රටවල මෙන්ම, වසංගතයේ ආර්ථික ප්‍රතිවිපාක විශේෂයෙන් ශ්‍රී ලංකාවට දරුණු ලෙස බලපා ඇත.
2020 සහ 2021 වසර වලදී වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා පනවා ඇති සීමාවන් අපගේ ආර්ථිකයේ සෑම අංශයකටම බරපතළ ලෙස බලපෑවේය.
සංචාරක ව්‍යාපාර ආදායම අහිමි වීම සහ විදේශගත ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ අහිමි වීම මෙන්ම සෞඛ්‍ය ආරක්ෂණ වැඩසටහන්වලට පිරිවැය දැරීමට සිදුවීම සහ වසංගතයෙන් තම ජීවනෝපාය අහිමි වී පීඩාවට පත්වූවන් සඳහා සුබසාධනය සැපයීම, ඉහළ යන ගෝලීය උද්ධමනය සහ අපගේ පැරණි ණය සේවා වගකීම් සමග ඒකාබද්ධ වී වර්තමානයේ ශ්‍රී ලංකාවට අභියෝගාත්මක ආර්ථික තත්ත්වයක් නිර්මාණය කර ඇත.
කෙසේ වෙතත්, කාලයක් මුළුල්ලේ අත්හදා බැලූ අප ජනතාවගේ විශිෂ්ට ශක්තිය සහ ප්‍රත්‍යාස්ථතාවය සහ අපගේ කලාපීය සහ ජාත්‍යන්තර හවුල්කරුවන්ගේ සහයෝගීතාවය සමග
ශ්‍රී ලංකාව මෙම දුෂ්කරතා ජයගෙන වේගවත් ආර්ථික ප්‍රකෘතියක් ඇති කරනු ඇතැයි මම විශ්වාස කරමි.
මෙම ප්රයත්නය සඳහා බිම්ස්ටෙක් සාමාජික රටවල් කිහිපයක සහයෝගය මම විශේෂයෙන් අගය කරමි.
ගෞරවනීය ආරාධිතයිනි,
1997 වසරේ එහි ආරම්භයත් සමග බිම්ස්ටෙක් කලාපයේ රටවලට එකිනෙකාගේ අත්දැකීම්, ශක්තීන් සහ ප්‍රවීණත්වය බෙදා ගනිමින් එකිනෙකාට සහයෝගය දැක්වීමට වැදගත් වේදිකාවක් බවට පත්ව ඇත.
අපගේ කලාපයේ භූ – උපායමාර්ගික වැදගත්කම, ආර්ථික ශක්තිය සහ ලෝක ජනගහනයෙන් 1/5කට වැඩි ජනගහණ සවියක් තිබීම විශේෂයෙන් වැදගත් වේ.
සාමාජික රටවල් අතර වර්ධනය කළ සහයෝගීතාව ආර්ථික නගා සිටීම සඳහා පමණක් නොව, වැඩි ආර්ථික සමෘද්ධියක්, වඩා හොඳ මහජන සෞඛ්‍යයක් සහ දිගුකාලීනව ඇති කලාපීය ප්‍රත්‍යාස්ථතාවය වර්ධනයට උපකාරී වේ.
මෙම සමුළුව සඳහා තෝරාගත් තේමාව තුළ මෙම අභිලාෂයන් මනාව පිළිඹිබු වේ.
ප්‍රත්‍යාස්ථ කලාපයක්, සමෘද්ධිමත් ආර්ථිකයක් සහ සෞඛ්‍ය සම්පන්න ජනතාවක් යන මෙම වටිනා අභිලාෂයන්, අර්ථාන්විත අන්තර් කලාපීය සහයෝගීතාවක් තුළින් අප සාක්ෂාත් කරගනු ඇතැයි මට උපරිම විශ්වාසයක් ඇත.
අද දින අත්සන් කරන ලද බිම්ස්ටෙක් ප්රඥප්තිය, කලාපය තුළ පමණක් නොව ගෝලීය කටයුතු වලදී ආසියාවේ ගාමක බලවේගයක් ලෙස මෙම සංවිධානයේ කාර්යභාරය ඉහළ නැංවීම සඳහා වැදගත් පියවරක් වනු නොඅනුමානය.
ගෞරවනීය ආරාධිතයිනි,
බෙංගාල බොක්ක කලාපය ගෝලීය සම්බන්ධතා හා වෙළඳාම සඳහා අතිශයින් වැදගත් වී ඇත.
මෙම ජලය හරහා ගමන් කරන ජාත්‍යන්තර නැව් මාර්ග ගෝලීය ආර්ථිකයේ එන්ජිම ක්‍රියාත්මක වීමට උපකාරී වේ.
මෙම ජලයට මෙන්ම කලාපීය රාජ්‍යයන්ට ද එල්ල වන තර්ජන මැඩලීම සඳහා සමුද්‍රාශ්‍රිත ජාතීන් එක්ව කටයුතු කිරීම අත්‍යාවශ්‍ය වේ.
එවැනි තර්ජන අතරට මත්ද්‍රව්‍ය ජාවාරම, මිනිස් ජාවාරම සහ ත්‍රස්තවාදය ඇතුළු ජාත්‍යන්තර අපරාධ මෙන්ම මෙම කලාපයේ ආගමික අන්තවාදය පැතිරීම ද ඇතුළත් වේ.
2019 පාස්කු ඉරිදා ප්‍රහාරයේ ශ්‍රී ලංකා අත්දැකීම් පෙන්නුම් කරන්නේ එවැනි භයානක මතවාදයන් කෙතරම් ඉක්මණින් ජාතීන් අතර පැතිරී පුළුල් විනාශයක් සිදු කළ හැකි ද යන්නයි.
එවැනි තර්ජන කළමනාකරණය කිරීම සඳහා බිම්ස්ටෙක් සාමාජික රටවල් අතර බුද්ධි තොරතුරු බෙදාගැනීම සහ අන්තර් රාජ්‍ය සහ අන්තර් නියෝජිතායතන අතර සහයෝගීතාව අවශ්‍ය වේ.
මේ හරහා කලාපයේ ආරක්ෂාව සියලු ජාතීන්ට හිතකර ලෙස වැඩිදියුණු කළ හැකියි.
බෙංගාල බොක්ක කලාපයේ පුළුල් ආර්ථික අවස්ථා ආරක්ෂා කිරීම සහ වැඩිදියුණු කිරීම ද එකසේ වැදගත් වේ.
බොහෝ බිම්ස්ටෙක් සාමාජික රටවල සිය ජීවනෝපාය සඳහා මසුන් ඇල්ලීම මත යැපෙන විශාල ප්‍රජාවන් ඇත. ඔවුන්ගේ මුහුදු සීමාවේ නීතිවිරෝධි ලෙස මසුන් ඇල්ලීම සඳහා වඩාත් නවීන යාත්‍රාවලින් පැන නගින අනවශ්‍ය තරගයෙන් ඔවුන් සුරක්ෂිත කරගැනීම වැදගත් වේ.
එබැවින් එවැනි සිදුවීම් මෙන්ම අධික ලෙස මසුන් ඇල්ලීම සහ වාර්තා නොවන නීති විරෝධී නියාමනය නොකළ ක්‍රම උපයෝගී කර මසුන් ඇල්ලීම වැළැක්වීම සඳහා අප සාමූහිකව යාන්ත්‍රණයක් ස්ථාපිත කළ යුතුය.
කලාපය තුළ වෙළෙඳ හා ආයෝජන කටයුතු වැඩි කිරිමට උත්සාහ ගැනීම වැදගත් වේ.
ශ්‍රී ලංකාව, ඉන්දියන් සාගරය මධ්‍යයේ ඇති සිය උපායමාර්ගික පිහිටීම අනුව, කලාපය තුළ වෙළඳාම් කටයුතු වැඩි දියුණු කිරීමේ කාර්යභාරයක් ඉටු කිරීමට සූදානම් ව සිටී.
නාවික කටයුතු සහ සම්බන්ධකතාව අපගේ ජාතික ආර්ථිකයේ කුළුණු වන අතර, නාවික, ගුවන් සහ ව්‍යාපාරික කේන්ද්‍රස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව සංවර්ධනය කිරීම කලාපයේ ආර්ථික වර්ධනයට සහාය විය හැකි වෙළඳාම් කටයුතු වල වර්ධනයට දායක වනු ඇත.
මෙවැනි සන්දර්භයක් තුළ, වඩාත් හොඳ ප්‍රතිඵල අත්කර ගත හැකි වන පරිදි කලාපීය තුළ වෙළෙඳාම් කටයුතු සහ ආයෝජන ප්‍රවර්ධනය කිරීමේ දී බිම්ස්ටෙක්හි විසින් ඉටුකරන වැදගත් කාර්යයට වැඩි අවධානයක් යොමු කළ යුතුවේ.
ඒ අතරම, සාමාජික රටවල් අතර නිදහස් වෙළඳ ගිවිසුම් ක්‍රියාත්මක කිරීමේදී දුප්පත් රටවල කර්මාන්ත සංවර්ධනය කිරීමේ අවස්ථා ආරක්ෂා කර ගැනීමට අප සැලකිලිමත් විය යුතුය.
නව වෙළඳපල අවස්ථා නිර්මාණය කරන අතරම අපගේ මානව ප්රාග්ධනය සහ ඵලදායිතාව වර්ධනය කළ හැකි තාක්ෂණික දැනුම අවශ්‍ය වන ව්‍යාපෘති සහ කර්මාන්ත සඳහා සිදුකරන ආයෝජන ශ්‍රී ලංකාව සාදරයෙන් පිළිගනී.
පුළුල් අධ්‍යාපනික ප්‍රතිසංස්කරණ තුළින් අපගේ මානව ප්රාග්ධනය වැඩි දියුණු කිරීම මගේ රජයේ ප්‍රධාන ප්රතිපත්තියකි.
ආර්ථික වර්ධනය මෙහෙයවීමේදී මානව ප්‍රාග්ධන සංවර්ධනයේ සහ තාක්ෂණය භාවිතයේ කාර්යභාරය අතිශයෝක්තියෙන් දැක්වීමක් නොවේ. බිම්ස්ටෙක් සාමාජික රටවල් මේ සඳහා ප්‍රමුඛතාවයක් දැක් විය යුතු අතර, එම රටවල් බොහොමයක ජනගහණය සාපේක්ෂව තරුණ සහ ක්‍රියාශ්‍රීලී අයවලුන්ගෙන් සමන්විත වීම භාග්‍යවත් වේ.
අනාගත රැකියා වෙළෙඳපොළ අවශ්‍යතාවන්ට ගැළපෙන දැනුම සහ කුසලතා සංවර්ධනය සඳහා උපකාර වන අධ්‍යාපනික ප්‍රතිසංස්කරණ හරහා තරුණ තරුණියන්ට රැකියා ලෝකයට පහසුවෙන් ප්‍රවේශ වීමට පහසුකම් සැලසිය යුතුය.
ඩිජිටල් තාක්ෂණය සඳහා වන ශ්‍රී ලංකාවේ සමස්ත රාජ්‍ය ප්‍රවේශය හරහා ඩිජිටල් ව්‍යවසායකත්වය දිරිමත් කිරීම, තාක්ෂණ දැනුමැති ශ්‍රම බලකායක් ගොඩනැගීම සහ සියලු දෙනාට පොදු සේවාවන් සැපයීමේ හැකියාව වැඩිදියුණු කිරීම අරමුණු කොට ඇත.
විද්‍යා, තාක්ෂණ හා නවෝත්පාදන අංශය මෙහෙයවීමේ වගකීම දරන සාමාජික රාජ්‍යය වශයෙන්, කොළඹ බිම්ස්ටෙක්හි තාක්ෂණ හුවමාරු පහසුකම ක්‍රියාත්මක කිරීමට මග පෑදීමට හැකිවීම ගැන ශ්‍රී ලංකාව ආඩම්බර වේ.
මෙම පහසුකම මගින් සාමාජික රටවල් අතර විද්‍යා, තාක්ෂණ සහ නවෝත්පාදන ක්ෂේත්රවල සහයෝගීතාව අනාගතයේදී වැඩි දියුණු කර එමඟින් සාමාජික රටවල්වල ආර්ථික සමෘද්ධිය ලඟාකරගැනීමට දායකත්වයක් ලබාදෙනු ඇත.
මෙම සන්දර්භය තුළ, අපගේ ජාතීන්ට පොදුවේ ඇති සමාන ආගමික හා සංස්කෘතික උරුමයන්, ගැඹුරු ඓතිහාසික ශිෂ්ටාචාර සබඳතා සහ ඉමහත් වූ ස්වභාවික දායාදයන් උරුමකර ගැනීමේ භාග්‍යය ද අවධාරණය කළ යුතුය.
වසර දෙකකට ආසන්න විරාමයකින් පසු නැවත ප්‍රාණවත් වෙමින් පවතින සංචාරක ව්‍යාපාරය, සියලුම බිම්ස්ටෙක් ජාතීන් සඳහා විශාල විභවයක් සපයයි.
එබැවින්, කලාපය තුළ සංචාරක ව්‍යාපාරය නගාසිටුවීම කෙරෙහි බිම්ස්ටෙක් හි න්‍යාය පත්‍රයේ ප්‍රධාන අවධානය ලබාදිය යුතු වේ.
මෙමගින් කෙටි කාලීනව ආර්ථික ප්‍රකෘතිමත් වීමට පමණක් නොව දිගු කාලීනව සාමාජික රටවලට නව ආර්ථික අවස්ථා නිර්මාණය කිරීමට මඟ පාදනු ඇත.
වඩාත් දියුණු වූ කලාපීය අවබෝධය සහ ප්‍රත්‍යස්ථිතිය ලඟාකරගැනීම පිණිස ද කලාපය තුළ ජනතාව සම්බන්ධ කර ගැනීම වැදගත් වේ.
ගෞරවනීය ආරාධිතයනි,
අනපේක්ෂිත සිදුවීම් හමුවේ අපගේ සමාජය කෙතරම් ඉක්මනින් වෙනස්වන සුළු ද යන්න පසුගිය කාලයේදී සිදුවූ සිදුවීම් අපට උගන්වා ඇති වඩාත් දුෂ්කරම පාඩම් වලින් එකකි.
කෙසේ වෙතත්, සියලුම ජාතීන්ට විනාශකාරී ලෙස වසංගතය පැතිරී ගියද මිනිසා විසින් ඇතිකරන ලද දේශගුණික විපර්යාසවල බලපෑම් දිගුකාලීන වන අතර ඒවා වඩාත් නරක අතට හැරීමේ හැකියාව ඇත.
දැනටමත්, බිම්ස්ටෙක් සාමාජික රටවල් කිහිපයක් දේශගුණික විපර්යාසවලට ගොදුරු වීමේ අවදානමක සිටී. දේශගුණික විපර්යාස වඩාත් නරක අතට හැරෙනවාත් සමඟම, මෙම තත්වයන් කෙරෙහි එහි බලපෑම ද තවත් වැඩි වනු ඇත.
දේශගුණික විපර්යාස සම්බන්ධ කරුණු සම්බන්ධයෙන් සාමාජික රටවල් අඛණ්ඩව සහයෝගයෙන් කටයුතු කළ යුත්තේ එබැවිනි.
අනාගතදී ඇතිවියහැකි තර්ජනවලට මුහුණදීමට කලාපය සූදානම් කිරීම සඳහා පරිසරය සම්බන්ධ ව්‍යාපෘති මෙන්ම ආපදා කළමනාකරණය සම්බන්ධයෙන් ද අප එක්ව කටයුතු කළ යුතුය.
ෆොසිල ඉන්ධන මත යැපීම අඩු කිරීම, පුනර්ජනනීය බලශක්තිය වෙනුවෙන් ආයෝජනය කිරීම සහ කලාපය පුරා හරිත හෝ ස්වභාවික කෘෂිකර්මාන්තය ප්‍රවර්ධනය කරන අතරම ආහාර සුරක්ෂිතතාව සහ ජල කළමනාකරණය වැඩිදියුණු කිරීම ද අත්‍යවශ්‍ය වේ.
එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස පිළිබඳ රාමුගත සම්මුතියට අනුකුලව අපගේ අභිලාෂකාමී සහ යාවත්කාලීන කළ ජාතික වශයෙන් නිර්ණය කළ දායකත්වයෙන්ගෙන් පිළිබිඹු වන පරිදි
ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්ති රාමුවෙහි තිරසාරභාවයට ප්‍රධාන ස්ථානයක් හිමිවේ.
වසර 2030 වන විට ජාතික බලශක්ති අවශ්‍යතාවය සඳහා පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් ලබාදෙන දායකත්වය 70%ක් දක්වා ඉහළ නැංවීමටත්, 2050 වනවිට මෙරට කාබන් ශුන්‍ය රටක් බවට පත් කිරීමටත්, නව ගල් අඟුරු විරහිත බලශක්ති සම්මුතියේ සම – නායකයෙකු ලෙස නව ගල් අඟුරු බල ව්‍යාපෘති ක්‍රියාත්මක නොකරන බවට සහතික වීමටත් අපි කැපවී සිටිමු.
තිරසාර නයිට්රජන් කළමනාකරණය පිළිබඳ කොළඹ ප්‍රකාශය මඟින් ද වසර 2030 වන විට නයිට්රජන් අපද්‍රව්‍ය අඩකින් අඩු කිරීම පිණිස කටයුතු කිරීමට ජාතීන් දිරිමත් කෙරේ.
පොදු රාජ්‍ය මණ්ඩලීය ‘නීල ප්රඥප්තිය’ හරහාද කඩොලාන සංරක්ෂණය සඳහා ශ්‍රී ලංකාව නායකත්වය දෙමින් කාර්යභාරයක් ඉටු කරයි.
හරිත කෘෂිකර්මය ද ශ්‍රී ලංකා රජයේ ප්‍රධාන වැඩසටහනක් බවට පත් වී ඇත.
අපේ ග්‍රාමීය ජනගහනයෙන් වැඩි ප්‍රමාණයක් කෘෂිකර්මාන්තයේ හෝ ඒ ආශ්රිත අංශවල රැකියාවල නිරත වේ.
පාරිසරික හායනය ඇති නොවන පරිදි කෘෂිකාර්මික නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා විද්‍යාත්මක තාක්ෂණික ක්‍රම සහ භාවිතයන් අනුගමනය කිරීම මෙම අංශයේ තිරසාර වර්ධනයක් ඇති කිරීම සඳහා අත්‍යාවශ්‍ය වේ.
කෘත්‍රිම පොහොර මත යැපීම අවම කර කාබනික ගොවිතැන දිරිමත් කිරීම අපගේ අනාගත පරපුරේ සෞඛ්‍ය තත්ත්වය ඉහළ නැංවීමට දායක වේ.
කර්මාන්ත වලින් මෙන්ම ප්ලාස්ටික් අපද්‍රව්‍යවලින් ගංගා සහ සාගර දූෂණය වීම අවම කිරීම මෙන්ම භූගත ජලය ආරක්ෂා කිරීම ද එකලෙස අත්‍යවශ්‍ය වේ.
මෙම කරුණු සම්බන්ධයෙන් සාමාජික රාජ්‍යයන් අතර සහයෝගීතාව ඉහළ නැංවීම සඳහා බිම්ස්ටෙක් සංවිධානය සමඟ කටයුතු කිරීමට ශ්‍රී ලංකාව සූදානමින් සිටී.
ගෞරවනීය ආරාධිතයනි,
මුහුණ දීමට අභියෝග තිබුණද, බිම්ස්ටෙක් හි අනාගතය පැහැදිලි සහ ශක්තිමත් බවට මට කිසිදු සැකයක් නැත.
අපගේ සාමූහික ප්රයත්නයන් තුළින් බිම්ස්ටෙක් හි අද සමුළුවේ තේමාවෙන් ඉස්මතුකරන අභිලාෂයන් සාක්ෂාත් කරගත හැකිය.
ලෝකය තුළ ආසියාවේ වැදගත් සාමූහික හඬක් බවට පත් වීමට ද බිම්ස්ටෙක් සංවිධානයට හැකියාව ඇත.
අපගේ කලාපය, අපගේ ජාතීන් සහ අපගේ සියලු ජනතාව වෙනුවෙන් මෙය සාක්ෂාත් කර ගැනීමට අපි සියලුදෙනා එක්ව කටයුතු කරමු.
ඔබට ස්තුතියි!