27 April 2024
#දේශීය

ණය ගන්නවා වගේම එකේන් ප්‍රයෝජන ගන්නත් දැනගන්න ඕන බව මන්ත්‍රී දුමින්ද කියයි

ණය ගන්නවා වගේම ණය ගැනීම තුළින් ප්‍ර යෝජන ගැනීම සියළු දෙනාගේ වගකීම බව පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ අනුරාධපුර පදවිය ප්‍රදේශයේ කිරි ගොවීන් 16 දෙනෙකු වෙනුවෙන්, කෘෂිකර්ම අමාත්‍යංශයේ, SAPP ව්‍යාපෘතිය යටතේ තණ කොළ කැබලි කිරීමේ යන්ත්‍ර 20 ක් ප්‍රදානය කිරීමේ උත්සවයකට සහභාගී වෙමිනි.

මෙහිදී රුපියල් ලක්ෂ 2.5 කට වැඩි වටිනාකමකින් යුතු තණකොළ කැබලි කිරීමේ යන්ත්‍රයක් ගොවීන් වෙත ප්‍රදානය කෙරිණි. කිරි ගවයින්ගේ පෝෂණය ඉහළ නංවා, වැඩි කිරි අස්වැන්නක් ලබා ගැනීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි.

මෙම යන්ත්‍රයට අමතරව අදියර කීපයක් යටතේ, එක් ගොවි මහතෙකු වෙනුවෙන් කිරි ගව ගාල් ඉදි කිරීමට මූළ්‍ය අධාර ඇතුළු රුපියල් හය ලක්ෂ හැත්තෑ අටදහසක මුල්‍ය ආධාර මෙම ගොවීන් 16 දෙනා වෙත ප්‍රධානය කිරීමටද නියමිතය.අනුරාධපුර දිස්ත්‍රික්කයේ කිරි ගොවීන් 300 දෙනෙකු වෙනුවෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීතුමන්,” මෙම ව්‍යාපෘතිය මගින් රුපියල් හය ලක්ෂ අසූ දහසකට ආසන්නව මුදලින් සහ යන්ත්‍ර සූත්‍ර ලබා දෙනවා.එහි පළමු අදියර යටතේ දෙලක්ෂ පනස් දහසක් වටිනා මෙම යන්ත්‍රය ලැබෙනවා.පදවිය ප්‍රදේශයේ තවත් ගොවින් 24 කට මෙම ව්‍යාපෘතිය යටතේ ප්‍රථිලාභ ලැබෙන්න නියමිතයි.ඒ අනුව මෙම ප්‍රදේශයේ 40 දෙනෙකුට, මේ ව්‍යාපෘතිය හරහා ප්‍රථිලාභ ලැබෙනවා.අනුරාධපුර දිස්ත්‍රික්කයේ කිරි ගොවීන් 300 දෙනෙකුට මෙම හය ලක්ෂ පනස් දහසකට වැඩි ප්‍රථිලාභයක් ලැබෙනවා.මෙම ව්‍යාපෘතියේ සම්පූර්ණ වටිනාකම ගත්තොත් අති විශාල මුදලක් එනවා.අපි දළ වශයෙන් මිලියන 200 ක් කියලා හිතුවොත්, ආණ්ඩුවෙන් ඒ මිලියන ගණනම දෙන්නේ ගොවීන්ගෙන් සත පහක්වත් අය කරන්නේ නැතිව නිකං.හැබැයි මේක ආණ්ඩුව ගත්ත ණයක්.කිරි ගොවීන් 300 දෙනෙක් වෙනුවෙන් මේ මිලියන ගණන ලංකාවේ ඉන්න දෙකෝටියක ජනතාව ගෙවනවා.රෑට රූපවාහිනිය බැලුවාම හැමදාම ඇහෙනවා නේද? අවුරුදු 74 ක්ම මේ රට ණය වෙලා, අපි බංකොලොත්, අපි ණය කාරයෝ කියලා කියනවා නේද? ඒ ණය ගොඩේ කොටස්කාරයෙක් නේද ඔබතුමන්ලාත්, රෑට ටී.වී එක බලලා මේ රට ණය කරපු එවුන්ට හෙන ගහන්න කියලා ඔබතුමන්ලාත් කිව්වා නම් ඒ හෙනේ කොටසක් එනවා ඔබතුමන්ලාටත්.මේ රට ණය කරන්න යම්කිසි ප්‍රමාණයක් ඔබතුමන්ලාත් දායක වෙලා තියෙනවා.මං මේ ඔබතුමන්ලා ණයකාරයෝ කියලා කියනවා නෙමෙයි, අපි තේරුම් ගන්න ඔ්න, යම්කිසි ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වෙන කොට යම් යම් ණය යෝජනා ක්‍රම භාවිතා කරලා ණය හොඳ දේවල් වලටත් අරන් තියෙනවා, නරක දේටත් අරන් තියෙනවා.හැබැයි මේක හොඳ කාරණයක්, මේ ණය වීම අපිට පාඩු නෑ, මේ ණය වෙච්ච එක හරියට අපි ආයෝජනය කර ගත්තොත්, මේ දෙන බඩු ටික ඔබතුමන්ලා හරියට පාවිච්චි කර ගත්තොත් අන්න ඔබතුමන්ලා මේ රටට ණය නෑ.ඒ ගත්ත ණයට වඩා වැඩි ආදායමක්, වැඩි නිෂ්පාදනයක් ඔබතුමන්ලාට කරන්න පුලුවන්කම තියෙනවා.අර කියන හෙනෙන් බේරෙන්න නම් මේ බඩු ටික හරියට පාවිච්චි කරන්න ඔ්න, නිෂ්පාදන වියදම අඩු කරගන්න ඔ්න, කිරි නිෂ්පාදනය වැඩි කර ගන්න ඔ්න, ඒ කිරි නිෂ්පාදනය වැඩි වීමත් එක්ක ලංකාවේ තියෙන කිරි ප්‍රශ්නයට ඔබතුමන්ලා යම්කිසි විසඳුමක් ලබාදෙන්න ඔ්න.මේ ප්‍රථිලාභය නොලබන කිරි ගොවීන්ට වඩා වැඩි දායකත්වයක් ඔබතුමන්ලා කිරි කර්මාන්තයට ලබා දිය යුතු වෙනවා.ඒ ණය හෙනයෙන් බේරෙන්න නම් ඔබතුමන්ලා අනෙක් අයට වඩා වෙනස් විය යුතු වෙනවා.ඔබතුමන්ලාට මේවා නිකං ලැබුණාට, මේ සේරම ණය, ඇයි මම මේ ණය ගැන මතක් කරන්නේ, අද අපි ණයකාර බවින් පහළටම වැටිලා ඉන්නවා.හැබැයි තාමත් ණය වෙච්ච එවුන්ට බනිනවා මිසක් රෑට හුල්ලනවා මිසක්, අපි මේකෙන් නැගිටින්න ක්‍රමයක් හොයන්නේ නෑ.ණය වුණේ මොකා නිසාද? ඇයි ණය වුණේ, කවුද ගසා කෑවේ, මේවා කොච්චර කථා කලත් රෑට රෑට, නැගිටින්න ක්‍රමයක් හෙව්වේ නැත්නම් වැඩක් තියෙනවාද? දැන් අපිට ඔ්නකම තියෙන්නේ ඉතිහාසයේ වරද හැමදාම කථා කර කර ඉන්න එක නෙමෙයි.ඒ වරදින් පාඩම් ඉගෙන ගෙන අලුතෙන් නැගිටින්න ක්‍රමය හොයන එක තමයි අපි දැන් කරන්න ඔ්නකම තියෙන්නේ.
දැන් මේ වරද කාගෙද? දේශපාලඥයොන්ගේ විතරක්ද? ඔබතුමන්ලා රෑට රූපවාහිනිය බැලුවම බුදියන්නේ දේශපාලඥයොන්ට බැණ බැණ නේ? මම මේ දේශපාලඥයෝ සුද්ධ කරන්න යනවා නෙමෙයි,හැබැයි අපි ඇත්ත කතා කරන්න ඔ්න, මේ ව්‍යාපෘති වලට නිළධාරියාගේ ඉඳන්, දේශපාලඥයින්ගේ ඉඳන්, ඔබතුමන්ලා දක්වා අපි හැමෝගෙම අඩුපාඩු තියෙනවා.සමහර වෙලාවට ටෙන්ඩර් කරන්න ගියපුවහම, ඒ ටෙන්ඩර් එකේ අකුරක් වැරදුනාම ආයේ පාරක් අකුල ගන්න වෙනවා.ටෙන්ඩර් දාපු මනුස්සයාගේ ගානේ පොඩි වෙනසක් තිබුණම පෞද්ගලික අංශයේ වගේ මේසයේ කථා කරලා ගණු-දෙණු බේරා ගන්න බෑ, ඇලපිල්ලක්, ඉස්පිල්ලක් මාරු වුණාම නිළධාරියා හිරේ යයි කියලා භයයි.ව්‍යාපෘතියට රටින් කියන දේ අකුරක් ඉස්පිල්ලක්, ඇලපිල්ලක් වෙනස් කරන්න බෑ,ඒවා වෙනස් කර ගන්න ආයේ මාස 03-04 ක් යනවා.ඡන්දයක් ආවම බඩු බෙදන්න බෑ, ඊළඟට ‌ඩොලර් නෑ, ඩොලර් හොයන්න වෙනවා.ඉතින් මෙහෙම ගියපුවහම මේ රට මේ තත්වයට පත් කරන්න අපි හැමෝම යම්කිසි පැත්තකින් දායක වෙලා තියෙනවා.දේශපාලනයේ ඉදන් පල්ලහො දක්වාම අපි අතින් අඩුපාඩු වෙලා ති‌යෙනවා.ඒ අඩුපාඩු ඉස්සරහට නැති කර ගත්තොත් තමයි ‌මේ රට අපිට දියුණු කරන්න පුලුවන්කම තියෙන්නේ.
අපි අරගලයේ ඉල්ලුවේ මොකක්ද? අපි හැමෝම අරගලයේ සාමාජිකයෝනේ, අපි හැමෝම ඒ දවස් වල මාරම ජොලියේ හිටියේ, අපි නම් තාමත් ජොලියේ ඉන්නේ මගේ ගේ ගිණි තිබ්බත්,මේ රට වෙනස් කර ගන්න පුලුවන් නම් ඒ අරගලයේ මතවාදයත් එක්ක ඒක තමයි අපේ දරුවන්ගේ ජයග්‍රහණය.මොකක්ද අපි අරගලයේ ඉල්ලුවේ, අපි අරගලයේ ඉල්ලුවේ ජනාධිපති ගෙදර පලයන්, අගමැති ගෙදර පලයන්, පාර්ලිමේන්තුවේ ඉන්න 225 ම අයින් වෙලා, අරගලයේ 225 ක් වාඩි වෙයන් කියලා නෙමෙයි.ඔබතුමන්ලා එදා කුඹුරේ ඉඳන් කෑගැහුවේ, පොලේ, කඩපිලේ කෑ ගහලා ඉල්ලුවේ, අතීතය වෙනස් කරලා අලුත් චේන්ජ් එක්ක අපි ඉල්ලුවේ.ඒ චේන්ජ් එක පාර්ලිමේන්තුවේ ඔලුගෙඩි වෙනසක් විතරක් නෙමෙයි හැමතැනම තියෙන අඩුපාඩු නැති කරලා අලුත් ගමනක් තමයි අපි බලාපොරොත්තු වුණේ, අපි උදාහරණයකට ගත්තොත් අපේ ළමයා ඉස්කෝලේ ශිෂ්‍යත්ව පන්තියේ ඉන්නවා නම් පන්තිභාර ගුරුවරයාගේ ටියුෂන් පන්තියට ගියේ නැත්නම් මොකද වෙන්නේ.අපි මහා ලොකුවට කියනවා නිදහස් අධ්‍යාපනය කියලා.මේක නේද ඇත්ත කථාව.ළමයාව දැම්මේ නැත්නම් පන්තිභාර ගුරුවරයාගේ ටියුෂන් පන්තියට ඒ ළමයා ඉස්කෝලේ ගිහින් ඉවරයි,පන්තියේ ඉඳලා ඉවරයි.හැබැයි මහා ලොකුවට දේශපාලඥයොන්ගේ වැරදි කථා කරනවා.අරක වැරදියි, මේක වැරදියි කියනවා හැබැයි අපි නිදහස් අධ්‍යාපනය ගැන කථා කළාට පුංචිම තැනත් අපිට වැරදිලා.අපේ විශ්ව විද්‍යාල ගැන කථා කළාම, පුද්ගලික විශ්ව විද්‍යාලයට යන දරුවා අවුරුදු 04 න් උපාධියක් අරන් එළියට යනවා, අපේ විශ්ව විද්‍යාල වල යන එකා, අපිට උගන්වන්න ගිහිල්ලා අවුරුදු 07 ක් කාළය නාස්ති කරලා, අවුරුදු 07 කට පස්සේ එළියට ඇවිත් දේශපාලඥයෙක් ඉස්සරහට ගිහින් රැකියාවක් ඉල්ලනවා.අපේ උපාධිධාරීන් කීයෙන් කී දෙනාද රැකියාවක් ගන්න පුලුවන් උපාධිධාරීන් බවට පත් වෙලා තියෙන්නේ.මේ රටේ 50% ක් ඉන්නේ කළා උපාධිධාරීන්,කාර්යාලයක වාඩි වෙන්න දෙන්න මේසයක් නෑ, ඒ තරම් නිළධාරීන්,හැබැයි වැඩක් දුන්නොත් ඒ අයට කරන්න පුලුවන්කමකුත් නෑ.උපාධියට රැකියාවක් දෙනවා කියන ගොන් තීන්දුව අපි ගත්ත නිසා, ඒ තීන්දුව ගත්තෙත් අපේ ආණ්ඩුවක්, 1994 දී, ඒ ගත්ත තීන්දුව දිගින් දිගටම කර ගෙන ඇවිල්ලා ගෙදර ඉඳලත්, ළමයි 04-05 දෙනා හදලත්, බාහිර උපාධියක් අරගෙන අනේ උපාධිය ගෙදර තියන් කියනවා, මෙන්න උපාධියක් තියෙනවා රැකියාවක් නෑ කියනවා.
උපාධිය කියලා කියන්නේ රැකියාවට සුදුසුකමක් නෙමෙයි.ඔ්න උපාධිධාරියෙක් යන්න මේසන් බාස් කෙනෙක් ගාවට.මේසන් බාස් උපාධියට සලකන්නේ නෑ, අට පාස් නැති මේසන් බාස් කියන්නේ අනපන් වැලි ටික. කඩපන් සිමෙන්ති කොට්ටේ කියලා.එහෙම නැතිව ආපු ගමන් මේසන් හැන්ද දෙන්නේ නෑ, ඇයි දෙන්නේ නැත්තේ, මේසන් කර්මාන්තයත් රැකියාවට සුදුස්සෙක් වුණොත් තමයි මේසන් බාස් හැන්දයි, මට්ටන් ලීයයි දෙන්නේ.කොච්චර උපාධි තිබ්බත් වැඩක් නෑ,ඒ ඒ උපාධි වලට රැකියා තියෙනවා.හැබැයි හැම උපාධියක් කියන්නේම රැකියාවට සුදුසුමකමක් නෙමෙයි.ඔ්නෑම රැකියාවකට අපි සුදුස්සෙක් බවට පත් වෙන්න ඔ්න.හැබැයි ඒක අපිට අපේ ඉස්කෝලේ ඉගැන්නුවේ නෑ, අම්මා -තාත්තා -සමාජය ඉගැන්නුවේ නෑ,අපි අවුරුදු 13 ක් ඉස්කෝ‌ලේ ගිහින් යාලුවෝ වෙනුවෙන්, අරයා වෙනුවෙන්, මෙයා වෙනුවෙන් තියෙන සබ්බ සකලමනාම පාඨමාලාවනුත් කරලා ආයේ පාරක් අපිට රස්සාවක් දෙන්න කියලා කියනවා.අපි කවුරුත් අපිට රැකියාවක් ගන්න සුදුසුකමක් අපි හදාගෙන නෑ.සිස්ටම් චේන්ජ් එක කිව්වේ මොකක්ද? අධ්‍යාපනයේ මේවා වෙනස්වෙන්න ඔ්නකම තියෙනවා.
සමහර කාර්යාල වලට ගියහම සල්ලි කීයක්වත් දෙන්නේ නැතිව වැඩක් කර ගන්න පුලුවන්ද? ඒ කාර්යාලයේ කාවවත් අදුරන්නේ නැත්නම් වැඩක් කරගන්න පුලුවන්ද? පාස්පෝට් ඔෆිස් එකට ගිහින් කීයක්වත් නොදී වැඩක් කර ගන්න පුලුවන්කම තියෙනවාද? හැබැයි සිස්ටම් චේන්ජ් එකක් කියලා අපි ඉල්ලුවේ මොනවාද? මේ සේරම වෙනස් විය යුතුයි.අපේ අවසානවක්ද කොහෙදෝ? මේ රටම සිස්ටම් චේන්ජ් එක ඉල්ලන කොට, මේ රටම ඒ තැනට තල්ලු වෙනකොට, අරගලයට දේශපාලන මුහුණුවරක් ලැබුණ නිසා අරගලය එතැනින්ම විනාශ වුණා.හැබැයි අපි තාමත් ඉන්නවා අරගලයේ හොඳ අරමුණුත් එක්ක.අරගලයේ හොඳ අපි කවදාවත් අමතක කරන්න හොඳ නෑ, අරගලය අපි හැමෝටම පාඩමක් ඉගැන්නුවා, හැමෝගෙම ඇස් ඇරෙව්වා මේ රටට ඔ්න වෙනස මේක කියලා.
දැන් සමහරු කියනවානේ මේ හැමෝම කෙලියා අපිට දීලා බලන්න කියලා.දැන් දීලා බලන කාළය ඉවරයි, සූදූ කෙලින කාළය ඉවරයි.දැන් වැරදි කරපු එකත් වැරදියි, වැරදි කරනකල් බලන් හිටපු එකත් වැරදියි, අපි වැරදි නෑ- අපිට දීපන් කියන එකත් වැරදියි.මොකද ඒ යකාත් වැරදි කරනකල් බලන් හිටියා.වරදින කොට බලන් හිටියා.රටකට වරදිනවා නම් ඒ වරදිනකල් බලන් හිටපු කෙනත් වැරදියි.ඒ නිසා දැන් අපි හැමෝම එකා වගේ එකට එකතු වෙලා වැටිච්ච තැනින් නැගිටින්න පාර කපන එක තමයි දැන් අපි කරන්න ඔ්නකම තියෙන්නේ.හැබැයි තාමත් අ‌පේ සමහරුන්ට ඒක තේරෙන්න නෑ, සමහර දේශපාලන පක්ෂ වලට මේක තේරෙන්නේ නෑ යැයි පැවසීය.

 

තිසර සමල් – අනුරාධපුර

Leave a comment

Your email address will not be published. Required fields are marked *