සමරසිංහ ආරච්චිලාගේ මධූෂ් ලක්ෂිත හෙවත් මාකඳුරේ මධුෂ් පොලිස් භාරයේ සිටියදී වෙඩි වැදී මියයෑමේ සිද්ධියට අදාළ විමර්ශන කටයුතු මාලිගාවත්ත පොලිසියෙන් ඉවත් කර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) භාර දෙන ලෙස කළ ඉල්ලීම කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නුවන් කෞශල්‍ය මහතා අද (12) ප්‍රතික්ෂේප කළේය.
මෙම ඉල්ලීම ඉදිරිපත් කරනු ලැබුවේ අගතියට පත් පාර්ශවය වන මධුෂ්ගේ බිරිඳ වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සේනක පෙරේරා ඇතුළු නීතිඥ මඩුල්ල විසිනි. මාලිගාවත්ත පොලිසිය මගින් සිදුකරන විමර්ශන පිළිබඳව තමන් සෑහීමකට පත් නොවන බවත්, පොලිස් භාරයේ සිටියදී සිදු වූ මෙම මරණය සැකසහිත බවත් ඔවුහු අධිකරණය හමුවේ පෙන්වා දුන්හ. මීට අමතරව, පෙර පැවති රජයේ දේශපාලනඥයන් සහ පොලිස් නිලධාරීන් මෙම සිද්ධියට සම්බන්ධ බවට ඇති බිය නිසා මීට පෙර අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට පවුලේ පිරිස පසුබට වූ බව ද නීතිඥවරුන් සඳහන් කළහ.
කෙසේ වෙතත්, අධිකරණ සේවා කොමිෂන් සභා පනත අනුව පවත්වාගෙන යනු ලබන විමර්ශනයක් වෙනත් ආයතනයකට පැවරීමට අධිකරණයට නියෝග කළ නොහැකි බව පවසමින් මහේස්ත්‍රාත්වරයා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය. විමර්ශන කටයුතු නිසි පරිදි සිදු නොවන බව හැඟෙන්නේ නම්, ඒ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නිල වශයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට අගතියට පත් පාර්ශවයට අවස්ථාව පවතින බව ද මෙහිදී වැඩිදුරටත් අවධාරණය කෙරිණි.














