27 April 2024
#දේශීය

COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ තැන්පත් ශේෂය මිලියන 737 ඉක්මවයි

ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග සහ ඝෘජු තැන්පතු සමඟ COVID 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය දැන් රුපියල් මිලියන 737 ඉක්මවා ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල මාර්තු මස 23 වැනි දින ස්ථාපනය කෙරිණි.

සී/ස විජය සමූහ ව්‍යාපාරය සහ CIB වෙළෙඳ ආයතනය රුපියල් මිලියන 15ක්, ලංකා මැණික් වෙළෙඳුන්ගේ සහ පතල් කම්කරුවන්ගේ සංගමය රුපියල් මිලියන 15.5ක් ඊයේ (17) දහවල් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපතිවරයා වෙත පිළිගැන්වූහ.

මාතික මාතා සිල්මෑණි ශ්‍රීදේවි සිල්වා රුපියල් ලක්ෂයක් සහ මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ මාණ්ඩලික නිලධාරී සංගමය හා උපාධිධාරී මාණ්ඩලික නිලධාරීන්ගේ සංගමය රුපියල් ලක්ෂ 05 ක් අරමුදලට ප්‍රදානය කර තිබේ.

ලංකා බැංකුවේ ආයතන ශාඛාවේ අංක 85737373 දරණ විශේෂ ගිණුමට පරිත්‍යාග බැර කෙරේ. දෙස් විදෙස් පරිත්‍යාගශිලීහූ ගිණුමට දායක වී සිටිති. නීත්‍යානුකූල ගිණුම් මගින් අරමුදලට කෙරෙන පරිත්‍යාග මුදල් බදු සහ විදේශ විනිමය රෙගුලාසිවලින් නිදහස් කර ඇත. චෙක්පත් හෝ ටෙලි ග්‍රාෆ් සම්ප්‍රේෂණ මගින් මුදල් තැන්පත් කිරීමට පිළිවන.

දුරකථන අංක 011 – 2354479 / 011 – 2354354 ඔස්සේ අධ්‍යක්ෂ ජනරාල් (පරිපාලන) කේ.බී. එගොඩවෙලේ මහතා අමතා වැඩි විස්තර දැන ගැනීමට හැකි බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කර සිටි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *