27 April 2024
#දේශීය

ජන ජීවිත යථාතත්ත්වයට පත් කිරීම ආණ්ඩුවේ වගකීමක් බව ජවිපෙ බිමල් කියයි

කොරෝනා මර්දනයට සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ගෙනයන කැපකිරීම සහ රජයේ අනෙකුත් නිලධාරීන් කරන කැපකිරීම් හැරුණාම පීඩාවට පත්වී සිටින ජනතාවගේ ගැටලු පිළිබඳ ආණ්ඩුවේ අවධානය අඩුයි බව ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක බිමල් රත්නායක මහතා පවසයි.

අද (17) පෙරවරුවේ එම පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා කියා සිටියේ ගොවි ජනතාව, ධීවර ජනතාව සහ විශේෂයෙන්ම විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් විශාල පීඩාවකට පත්වී සිටින බවයි.

ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක බිමල් රත්නායක මහතා එහිදී දැක් වු සම්පුර්ණ ප්‍රකාශය පහත පරිදි වේ. “ අපේ රටේ කොරෝනා වෛරසය මැඩපැවැත්වීමට ඇඳිරි නීතිය පනවා යම් යම් ක්‍රියාමාර්ග අනුගමනය කිරීම මාසයකට ආසන්නවී තිබෙනවා. ලෝකයේ හැම රටක්ම විශාල සීමාකිරීම් තුළින් මේ වෛරසය මැඩපැවැත්වීමට ක්‍රියාකර තිබෙනවා. මෙයට කලින් සීමාකිරීම් අඩුවෙන් කළ රටවල් පවා නැවත සීමාකිරීම් වැඩිකර තිබෙනවා. ජපානය වැනි රටක් සීමාකිරීම් ලිහිල් කළත් නැවත 16වැනිදා සිට හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කරලා. අනිවාර්යයෙන්ම සීමාකිරීම් සහ යම් යම් පාලනය කිරීම් අවශ්‍ය බව පිළිගන්නා අතරම ජනතාවට තිබෙන ප්‍රධාන ගැටලුවලට පිළියම් යෙදිය යුතු වෙනවා. කොරෝනා මර්දනය සඳහා ගෙන තිබෙන ක්‍රියාමාර්ග නිසා ගොවි ජනතාව, ධීවර ජනතාව සහ විශේෂයෙන්ම විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් විශාල පීඩාවකට පත්වී සිටිනවා.

විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් අතර අති විශාල ප්‍රමාණයක් ඉන්නේ ශ්‍රමිකයන් ලෙස විදේශගත වූවන්ය. මේ අතර ඔවුන් විවිධ සහ වෙනස් නීතිමය තත්වයන්ට මුහුණ දෙනවා. මේ අතර ඇතැම් අය නිශ්චිත කාලයකට විදෙස්ගතවී සිටින අතර තවත් පිරිසක් ලංකාවට යමින් එමින් රැකියා කටයුතු කරනවා. තවත් පිරිසක් නිසි රැකියා බලපත්‍රයක් නැතිව ඒ රටවල රැඳී සිටිනවා. යුරෝපා රටවල්වල සහ මැදපෙරදිග රටවල්වල කොරියාව, ජපානය වැනි රටවල්වල මේ ශ්‍රමිකයන් වැඩියි. නීති විරෝධීව රැඳී සිටින විශාල පිරිසකුත් සිටිනවා. තව පිරිසක් අදාල රටවලට ඇතුල්වීමේ නීත්‍යානුකූල බලපත්‍ර හෝ රැකියා කිරීමේ බලපත්‍ර නැති අය. ඒ වගේම බලපත්‍ර කල් ඉකුත් වූ අයත් සිටිනවා. මේ වගේ කණ්ඩායම් රාශියක් විදෙස්ගතවූවන් අතර සිටිනවා. විදේශගතව අධ්‍යාපනය ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන්, විවිධ පුහුණු වැඩසටහන්වලට ගිය රජයේ නිලධාරීන්, සංචාරකයන් වශයෙන් විදේශගත වූවන්, ව්‍යාපාරිකයන් ලෙස විදේශගත වූවන්, ප්‍රතිකාර ගැනීම සඳහා ගිය අය ඉන්නවා. දැනට ලංකා රජයෙන් ඉදිරිපත් කර තිබෙන අන්තර් ජාල ලේඛණයේ ලියා පදිංචිවී සිටින්නේ 60,000ක් වුණත් මේ සංඛ්‍යාව මීට වඩා විශාල අගයක් බව බව අපි දන්නවා.

රජය මුලදී ඔවුන් දැනුවත් කළේ අදාල රටවල්වල රැඳී සිටින ලෙසයි. නමුත් මෙම කාලය තුළදී කොරෝනා තත්වය ලෝක වසංගතයක් බවට පත්වීමෙන් යුරෝපය, නැගෙනහිර ආසියාව, බටහිර ආසියාව, මැද පෙරදිග පවා වැඩි වශයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන්නේ ගතවෙමින් තිබෙනවා. මුලදී රජයෙන් ගත් තීන්දුව නිසා ලක්‍ෂ සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයන් මෙරටට පැමිණීමට නොහැකි වී ඒ රටවල රැඳී සිටිනවා. එය ඔවුන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් පවා උල්ලංඝනය වීමක්. ලෝකයේ බොහෝ රටවල් විදේශගතවී සිටින තම පුරවැසියන් වෙනුවෙන් විශාල මැදිහත්වීමක් සිදුකරනවා. ලංකා ආණ්ඩුවත් රටවල් 16ක රැඳී සිටින ලාංකිකයන්ගේ කටයුතු වෙනුවෙන් රු. ලක්‍ෂ 80ක් වෙන්කර තිබෙන බව මාධ්‍ය වාර්තා කළා. නමුත් මෙවැනි මුදලකින් දිය හැක්කේ කවර සහනාධාරයක්ද යන්න ගැටලුවක්. සමහර රටවල්වල රැඳී සිටින ලාංකිකයන්ට නිවාස කුලිය ගෙවීම, ආහාර මිලදී ගැනීම වෙනුවෙන් විශාල මුදලක් දැරීමට සිදුවී තිබෙනවා. මැදපෙරදිග සමහර රටවල ස්වදේශිකයන්ට බොහො දේ නොමිලේ ලබා දුන්නත් විදේශවලින් පැමිණ සිටින ශ්‍රමිකයන්ට ඉහළ මිලකට ආහාර ද්‍රව්‍ය ලබාගන්න සිදුවී තිබෙනවා.

මැද පෙරදිග ඇතුළු රටවල් කිහිපයක රජයන් ඒ රටවල්වල වියදමින් ශ්‍රී ලාංකිකයන්ද ඇතුලුව විදේශිකයන් අදාල රටවල්වලට ගුවන් මගින් ගෙන ගොස් බාරදී තිබෙනවා. ලබන 20වැනිදා ඉඳලා 25වැනිදා දක්වා මේ ක්‍රියාමාර්ගය දියත් කිරීමට කුවේට් රජය සූදානමින් සිටිනවා. කුවේට් රජය සූදානම් වුණත් ලංකා ආණ්ඩුව ඊට සූදානම් නැති නිසා ගැටලුවක් මතුවී තිබෙනවා. එක්සත් අරාබි එමීර් රාජ්‍යයත් මේ ක්‍රියාමාර්ගය අනුගමනය කරන්න සූදානම්. කුලී රථ රියදුරන්, සංචාරක හෝටල්වල සේවය කරන්නන් වගේ විදෙස්ගතවී විවිධ ස්වයං රැකියා කරන විශාල පිරිසක් සිටිනවා. ඔවුන්ට මාසික වැටුප් ගන්නා අයට වගේ රැකවරණ ලබාදෙන නිශ්චිත ක්‍රමවේදයක් නැහැ. බොහෝ විට මේ අය පවුල් පිටින් ගොස් පදිංචිවී සිටින අයයි. ඔවුන්ට ආදායම් නැතිවීම වගේම ලංකාව තුළ සිටින ඔවුන්ගෙන් යැපෙන්නන්ද දැඩි පීඩාවකට පත්වී සිටිනවා.

මේ වනවිට අපි මාධ්‍ය මගින් දකින තවත් විශේෂ දෙයක් තමයි විදේශගත ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින බරපතල ගැටලු. ඉන්දියාව, මැලේසියාව, වගේ රටවල මේ තත්වය විශේෂයෙන් අවධානයට ගත යුතු වෙනවා. ඒ රටවල සෞඛ්‍යාරක්‍ෂිත ගැටලු විශේෂිතයි. ආහාරපාන ඒ විශ්වවිද්‍යාලවලින් ලබානොදීම වැනි ගැටලු තිබෙනවා. විශේෂයෙන්ම ඒ රටවල්වල රාජ්‍ය නොවන විශ්වවිද්‍යාලවල තත්වය බරපතලයි. ඉන්දියාවේ විශ්වවිද්‍යාල කිහිපයක උප කුලපතිවරු ලිඛිතවම දැනුම්දී තිබුණා, ඔවුන්ගේ වියදමින් ඉන්දීය ප්‍රධාන ගුවන්තොටුපොළවලට මේ ශිෂ්‍යශිෂ්‍යාවන් රැගෙන ඒමට සූදානම් බව. මොවුන් බාරගැනීමට ලංකා ආණ්ඩුව පැත්තෙන් මාසයකට ආසන්න කාලයක් කිසිදු ක්‍රියාමාර්ගයක් අරගෙන නැහැ. විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගේ සංවිධාන තානාපති කාර්යාල මගින් රජයට දැනුම්දී තිබෙනවා. සමහර තානාපති කාර්යාල ඒ පිළිබඳව නිසි අවධානය යොමුකර නැතත් බොහෝ තානාපති කාර්යාල තමන්ගේ වගකීම් නිසි පරිදි ඉටුකර ලංකාවේ රජයට මැදිහත්වන ලෙස ඉල්ලීම් කර තිබුණා. කටාර්, කුවේට් වගේ රටවල මේ තත්වය විශාල වශයෙන් තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පිළිගත්ත තමන්ගේ රටට පැමිණීමට තිබෙන මූලික අයිතිය ලෝකයේ බොහෝ රටවල්වලින් ක්‍රියාත්මක කරන ආකාරය අපි දකිනවා. එංගලන්තයේ හිරවෙලා සිටි චීන ජාතිකයන් ශ්‍රී ලංකාවේ ගුවන් සමාගම යොදාගෙන තමන්ගේ රටට ගෙන ගියා. ලංකාවට අදාලව ගත්තොත් විදේශ රාජ්‍යයන් ඔවුන්ගේ වියදමින්ම ලාංකිකයන් මෙරටට ගෙනත් දෙන්න සූදානමින් සිටියත් ආණ්ඩුව පැත්තෙන් මේ සම්බන්ධයෙන් කිසිදු මැදිහත්වීමක් නොකරන බව අපි දකිනවා.
මුලින්ම විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් ගැන මතයක් ගොඩනැගුවේ ලංකාවට කොරෝනා බෝ කරන්නේ ඔවුන් කියලා. විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් කොන්කරන, හෙළා දකින තත්වයක් රට තුළ නිර්මාණය කළා. නමුත් දැන් ඔවුන්ට ආයාචනා කරන්නේ ඔවුන් සතුව තිබෙන මුදල් ලංකාවට එවන ලෙසයි. නමුත් ඔවුන් නීත්‍යානුකූලව විදේශගතවීමේදී ලබාගෙන තිබෙන රක්‍ෂණ ආවරණය පවා ලබාදීමට ආණ්ඩුව කිසිවක් කර නැහැ. තානාපති කාර්යාලවලට අවශ්‍ය ප්‍රතිපාදන ලබාදී ඔවුන් ගෙන්වා ගැනීමටත්, ගෙන්වා ගන්නා තෙක් රැඳී සිටීමට සුභසාධනය සලසන ලෙසත් අපි ආණ්ඩුවට බලකරනවා.

ලංකාවේ ආර්ථිකය ප්‍රධාන වශයෙන්ම රඳාපවතින්නේ රට විරුවෝ කියල හඳුන්වන මෙම පිරිස ලංකාවට එවන මුදල්වලින්. ඔවුන් අමාරුවේ වැටුණාම ආණ්ඩුව, තමන්ගේ ආරක්‍ෂාව තමන්ම සලසා ගන්න කියන මානසිකත්වයෙන් කටයුතු කරනවා. ඔවුන් වෙනුවෙන් වහාම ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස අපි බල කරනවා. සමහර වංචනික පුද්ගලයන් මේ ශ්‍රමිකයන්ගෙන් මුදල් අයකර ගනිමින් අදාල රටේ ආණ්ඩුව ලබාදෙන සහාය හෝ ලබාගැනීමට තිබෙන ඉඩ අහුරන බව හෙළිවී තිබෙනවා. නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය ඉන්දියාවේ අයි.පී.එල්. ක්‍රිකට් තරඟ ලංකාව තුළ පැවැත්වීමට ආරාධනා කිරීමට තරම් ආණ්ඩුව දක්වන මැදිහත්වීම විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් සිදු කරන්නේ නැහැ. ඒ නිසා විදේස්ගත ශ්‍රමිකයන්ගේ රක්‍ෂණ වන්දි ලබාදීමටත්, තානාපති කාර්යාල සක්‍රීය කරවීමටත්, ලංකාවට ගෙන්වා ගැනීමෙන් පසු නිරෝධායන ක්‍රියාවලියකට යටත් කිරීමේ සැලසුම් සකස් කරන ලෙසත් ආණ්ඩුවට බලකරනවා.

ලෝකයේ සෑම රටක්ම පාහේ වැඩිපුර අවධානය යොමුකර තිබෙන්නේ කොරෝනා වෛරසය මර්දනය කිරීම වගේම එම ක්‍රියාමාර්ග නිසා බිඳවැටී තිබෙන ජනජීවිත යථාවත් කිරීමටයි. ගොවියන්, ධීවරයින්, වැඩකරන ජනතාව, ව්‍යාපාරිකයන්ගේ ගැටලු මෙන්ම දරුදැරියන්ගේ අධ්‍යාපනය නගා සිටුවීමට රටවල් මැදිහත්වෙමින් සිටිනවා. අපේ රටේ වෛද්‍යවරුන්, හෙදහෙදියන් ඇතුලු සමස්ත සෞඛ්‍ය කාර්යමණ්ඩල කොරෝනා මර්දනයට අදාල කාර්යභාරය සිදුකරමින් සිටිනවා. නමුත් ප්‍රධාන ගැටලුවවී තිබෙන්නේ ගොවියන් ඇතුළු වෙනත් අසංවිධානාත්මක අංශයේ දෛනික රැකියා කරන්නන්, කුඩා ව්‍යාපාර, සමෘද්ධි සහනාධාර නොලබන අති විශාල පිරිසකගේ ජන ජීවිතය ගොඩනැගීමයි.
රු.5,000ක මුදලක් ලබාදීමේ ක්‍රියාවලිය, තෝරාගැනීමේ ක්‍රියාවලිය, අකාර්යක්‍ෂම සහ දේශපාලනීකරණය කර ඇති බව අපි දකිනවා. සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව පොදුජන පෙරමුණේ දේශපාලන ශාඛාවක් බවට පත්කරගෙන තිබෙනවා. සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් අප්‍රේල් 11වැනිදා දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්‍ෂ ජනරාල්වරුන්ට යැවූ ලිපියක පැහැදිලිව සඳහන්කර තිබෙන්නේ 2019 වර්ෂයට අදාල ඡන්දහිමි නාම ලේඛනය මත ප්‍රතිලාබීන් හඳුනාගන්න කියලයි. ඡන්ද හිමි නාමලේඛන සමෘද්ධි ප්‍රජාමූල බැංකුව වෙත ලබාදෙන ලෙසත් මේ ලිපියේ පැහැදිළිව සඳහන්කර තිබෙනවා. සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවට ඡන්ද හිමි නාමලේඛණය ගත්තේ කොහෙන්ද කියලා අපි විවෘතව ප්‍රශ්න කරනවා. ග්‍රාම නිලධාරී මහතා සතුව ඡන්දහිමි නාමලේඛනය හැර තමන්ගේ කොට්ඨාශයේ සියලුම දෙනා සම්බන්ධයෙන් තොරතුරු තිබෙන තවත් ලේඛන කිහිපයක්ම තිබෙනවා. මේ නිශ්චිත මොහොතේදී ආධාර ලබාදීමට වඩාත්ම වැදගත් වෙන්නේ 2019 සකස් කළ ඡන්දහිමි නාමලේඛනයට වඩා වෙනත් ආසන්න නාම ලේඛනයි. ඡන්දහිමි නාමලේඛනයේ හම්බන්තොට සඳහන් වන කෙනෙක් මේ මොහොතේ කොළඹ රැඳීඉන්න පුළුවන්. මේ වගේ තත්වයන්ට කොටුවී ගම්වලට යන්න බැරිවූ 40,000ක් පමණ කොළඹ සිටිනවා. මේ අය සම්බන්ධයෙන් ක්‍රියාකිරීමට මැතිවරණ කොමිසම සතු දේපළක් හෝ ඡන්දහිමි නාමලේඛන ලබාගත්තේ කොහොමද? මා දන්නා තරමින් මැතිවරණ කොමිසමෙන් ඡන්දහිමි නාමලේඛන ලබාගෙන තිබෙන්නේ පොදුජන පෙරමුණ පමණයි. සමෘද්ධි සම්බන්ධයෙන් දිස්ත්‍රික්වලට යවා තිබෙන ඡන්දහිමි නාමලේඛණවල වෝට් මාක් එකක එස්.එල්.පී.පී. යනුවෙන් සඳහන් වෙනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ලබාදුන් මේ ලේඛනය සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් විසින් බෙදාහරිමින් තිබෙනවා.

මූලික ප්‍රශ්නය තිබෙන්නේ රජයේ දෙපාර්තමේන්තු පොදුජන පෙරමුණේ ශාඛා සමිති ලෙස පාවිච්චි කිරීම ගැනයි. මේ හදිසි තත්වය යටතේ නිල ලේඛණයක් නිසි පරිදි මහජතාවට සහන සැලසීමේ අරමුණින්ම යොදාගැනීම ගැන අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. ශ්‍රී ලංකා නිදහස් ග්‍රාම නිලධාරීන්ගේ සංගමය මෙම ඡන්දහිමි නාමලේඛන සමෘද්ධි දෙපාර්තමේන්තුවට ලබාදීම සම්බන්ධයෙන් ලිඛිතව ප්‍රශ්න කර තිබෙනවා.

මේ අවස්ථාවේදී ජනතාවට සහන සැපයීම වෙනුවෙන් ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට සෘජු නීත්‍යානුකූල වගකීම් ප්‍රමාණයක් පැවරී තිබෙනවා. අවුරුදු 15ක් තිස්සේ ආපදාවලදී ක්‍රියාකර අත්දැකීම් ලබාගෙන තිබෙන පාර්ලිමේන්තු පනතක් සම්මත කර පිහිටුවාගත් මේ මධ්‍යස්ථානය පවා මේ අවස්ථාවේ වගකීම්වලින් පැත්තකට කර තිබෙනවා. ඒ තුළින් ජනතාවට සහන සැපයීමේ ක්‍රියාවලිය අමු අමුවේ දේශපාලනීකරණය කර තිබෙනවා. මේ දේශපාලනීකරණ ක්‍රියාවලියට අමතරව ආණ්ඩුව අලුතින්ම යවා තිබෙන චක්‍රලේඛයෙන් උපදෙස් දී තිබෙන්නේ සහනාධාර ලබාදීමට තෝරා ගත් පවුල්වලින් අඩකට වඩා කපා හරින්නයි. මේ නිසා නිලධාරීන් බරපතල අපහසුතාවයකට පත්වී සිටිනවා. විශේෂයෙන් සමෘද්ධි නිලධාරීන්ට මේ නිසා විශාල වශයෙන් වද දෙමින් තිබෙනවා. ආණ්ඩුව විද්‍යානුකූල සැලසුමකට කටයුතු කරනවා වෙනුවට දේශපාලන අරමුණ වෙනුවෙන් කටයුතු කිරීම නිසා නිලධාරීන් බරපතල ගැටලු ගණනාවකට මේ ගෙවී යන මාසය තුළදී ඇද දමා තිබෙනවා.

කොරෝනා තත්වය නිසා පීඩාවට පත් ජනතාවට සහන ලබාදීමේ ක්‍රියාවලිය බරපතල ලෙස බිඳවැටී තිබෙනවා. තමන්ට ගැති රාජ්‍ය හා පෞද්ගලික ජනමාධ්‍යවලින් රටේ ජනතාව මුහුණදී සිටින සැබෑ තත්වය වහන්න බැරි බව අපි ආණ්ඩුවට කියන්න කැමතියි. කොරෝනා වැඩසටහන කියන්නේ ලෙඩට බෙහෙත් දෙන එක පමණක් නෙවෙයි. ආණ්ඩුවක් සාර්ථකයි කියන්නේ කොරෝනා මර්දනයට ගෙනයන ක්‍රියාමාර්ග නිසා ජනතාවගේ ජන ජීවිත බිඳවැටීමට නොදී ආරක්‍ෂා කර ගැනීමේ ක්‍රියාමාර්ග අනුගමනය කිරීමෙනුයි. විදේශ වෙබ් අඩවිවල පළ කර තිබෙන බවට හුවා දක්වන ආණ්ඩුවේ සාර්ථකත්වය රටේ සැබෑවට නොපවතින බව අපි මේ වෙලාවේ ජනතාවට මතක් කරන්න ඕනෑ. රටම ඇඳිරි නීතියේ තිබෙන අතර සමහර ගම්මාන සීල් කරලා තිබීම විද්‍යානුකූලව අවශ්‍ය බව අපි දන්නවා. මේ ප්‍රදේශවල ජනතාවට විශේෂයෙන්ම ඇතිවූ පීඩාවන් තිබෙනවා. අඩුම තරමේ ඔවුන් සතුව තිබෙන මුදල් ලබාදී ආහාර ඇතුලු අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ලබාගැනීමේ අවස්ථාවත් අහිමි වෙලා. ඔවුන්ගේ මුදල් වෛරසයේ වාහකයෙක් ලෙස ක්‍රියා කිරීමේ හැකියාව නිසා බාහිර පාර්ශ්වයන් ලබා නොගැනීමෙන් මේ තත්වය ඇතිවී තිබෙනවා. ඒ පිළිබඳව ආණ්ඩුව මැදිහත්වී උත්තර ලබාදිය යුතුයි.

කොරෝනා වසංගතය තුළ ආණ්ඩුව මැතිවරණයකට සූදානම්වීම ගැන සාකච්ඡා කිරීමට ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් කණ්ඩායම් නායක අනුර සහෝදරයා මැතිවරණ කොමිසමෙන් අවස්ථාවක් ඉල්ලා තිබෙන බවත් මේ අවස්ථාවේ මතක් කළ යුතුයි. මැතිවරණ ක්‍රියාවලිය නිසි පරිදි ඉටුකිරීමෙන් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ආරක්‍ෂා කරගැනීම අවශ්‍යයි. මේ මොහොතේ මැතිවරණය පැවැත්වීමෙන් යම්කිසි පාලිත තත්වයකට පත්කර තිබෙන කොරෝන වසංගතය යළි උත්සන්න වීමේ හැකියාවක් තිබෙනවා. ජපානයේ තත්වය ඊට උදාහරණයක්. තමන්ගේ රටේ තාක්‍ෂණය හැකියාවන් අපිට වඩා ඉහලින් තිබූ රටවල් පවා අලුත් තත්වයන් ගැන විශේෂ අවධානයකින් ක්‍රියාකරන බව පැහැදිලියි. නමුත් කොරියාවේ මැතිවරණය පැවැත්වීම ගැන රාජ්‍ය නාලිකා විශේෂ අවධානයක් යොමුකර ප්‍රචාරයන් ගෙන යන බව අපි දකිනවා. කොරියාවේ සෞඛ්‍ය බලධාරීන් පවා අනතුරු අඟවා තිබෙන්නේ ඡන්දයෙන් පස්සේ සති දෙක ඉතාමත්ම තීරණාත්මක බවයි. තවත් පැත්තකින් කොරියාවේ මැතවරණය පැවැත්වීමේදී අත් සෝදන විෂබීජ නාශක වෙනුවෙන් පමණක් ඩොලර් මිලියන 14.3ක් වෙන්කර තිබුණා. ඊට අමතරව සෑම ඡන්ද දායකයෙකුටම අත් ආවරණ දෙකක් ලබාදී තිබුණා. මැතිවරණ කාර්ය මණ්ඩලවලට පූර්ණ සෞඛ්‍යාරක්‍ෂිත කට්ටල ලබාදී තිබුණා. ඒ වෙනුවෙන් ඩොලර් මිලියන 4.5ක් දැරුවා. හැම ඡන්ද මධ්‍යස්ථානයකටම ශරීරයේ උෂ්ණත්වය මනින මාන දී තිබුණා. ඒ වෙනුවෙන් අමතර කාර්ය මණ්ඩලද 26,000ක් සම්බන්ධ කරගෙන තිබුණා. මේ වගේ සෞඛ්‍යාරක්‍ෂාව වෙනුවෙන් විශාල ක්‍රියාමාර්ග ප්‍රමාණයක් අනුගමනය කර තිබියදී ඒ රටේ සෞඛ්‍ය අංශ ඉදිරි සති දෙක ගැන අනතුරු ඇඟෙව්වා.

හැබැයි කොරියාවේ ආදර්ශය ගැන කියමින් හිත් පිත් නැතිව ඡන්දය ගැන කතා කරනවා නම් ඒවගේ ආණ්ඩුවක් ගැන බරපතල ලෙස ප්‍රශ්න කළ යුතුයි. සමහර ඇමතිවරුන් හෝමාගම වැනි ප්‍රදේශවල සංගීත සංදර්ශන පවා පවත්වමින් ඡන්දයට සූදානම් වෙනවා. මාසයක් තිස්සේ සෞඛ්‍ය කාර්ය මණ්ඩල කරන ලද කැපකිරීම්වල ප්‍රතිඵලයක් විදිහට කොරෝනා මර්දනය පැත්තෙන් ලබාගෙන තිබෙන සාර්ථකත්වය පීඩාවට පත් ජනතාවගේ ජීවිත නගා සිටුවීමට අදාලව කිසි සේත්ම ප්‍රගතියක් ලබා නැහැ. ලංකාවට අවශ්‍ය මුඛ ආවරණ මහන්න ඇඟලුම් කර්මාන්ත හිමියන් සමග ජනාධිපති කාර්ය සාධන බලකාය සාකච්ඡා පැවැත්වූයේ 16වැනිදා. මේ වගේ තත්වයක් තුළ මැතිවරණය පැවැත්වීමෙන් කොරෝනා මර්දන කටයුතු විශාල වශයෙන් අඩපන වන බව පැහැදිලියි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *