අනුරාධපුර සහ මාතලේ දිස්ත්‍රික්ක යා කරමින් දඹුල්ල මහ නගර සභා බල ප්‍රදේශයේ තම්මන්ඇළ හරහා ඉදිකර තිබූ ගල්වැටියාය පාලම කඩාවැටීම හේතුවෙන් හාබරත්තාවල, උළුකැටවැව සහ ගල්වැටියාය යන ගම්මානවල ජනතාව දැඩි අසීරුතාවට පත්ව සිටිති. ‘දිට්වා’ සුළි කුණාටුවත් සමඟ ඇති වූ දැඩි වර්ෂාවෙන් දෙවැනි වරටත් මෙම පාලම විනාශ වී ඇති අතර, මාස කිහිපයක් ගත වුවද මෙතෙක් ස්ථිර පිළිසකර කිරීමක් සිදුව නොමැති බව වාර්තා වේ.
පාලම විනාශ වීම නිසා පාසල් දරුවන්, ගුරුවරුන් සහ රැකියා සඳහා යන පිරිස් වැලි කොට්ට මතින් අතිශය අවදානම් සහගත ලෙස ඇළ තරණය කිරීමට පෙළඹී සිටිති. මීට පෙර අවස්ථාවලදී යුද හමුදා සහාය ඇතිව තාවකාලිකව පාලම සකස් කර දුන්නද, පවතින අයහපත් කාලගුණය හමුවේ එය සම්පූර්ණයෙන්ම ගසාගෙන ගොස් ඇත. ඇතැම් දරුවන් ලිස්සා ඇළට වැටුණු අවස්ථා ද පවතින බව ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.
මේ පිළිබඳව කළ විමසීමකදී දඹුල්ල නගරාධිපති වසන්ත කේ. රාජමන්ත්‍රී මහතා සඳහන් කළේ, යුද හමුදා ඉංජිනේරු බලකායේ සහයෝගය ඇතිව පාලම කඩිනමින් යළි සැකසීම සඳහා අවශ්‍ය කටයුතු මේ වන විට සැලසුම් කරමින් පවතින බවයි. කෙසේ වෙතත්, කිසියම් බරපතල අනතුරක් සිදුවීමට පෙර මෙම පාලම ස්ථිර ලෙස ඉදිකර දෙන ලෙස ප්‍රදේශවාසීන් බලධාරීන්ගෙන් දැඩිව ඉල්ලා සිටිති.















