ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය විසින් මාර්ගගත (Online) ක්‍රමවේද ඔස්සේ රාජකාරී ඉටු කිරීමට අදාළ උපදෙස් මාලාවක් සකස් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරනවා. රාජ්‍ය සේවය ක්‍රමානුකූලව පවත්වාගෙන යාම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් මාර්ගගතව පැවති අමාත්‍ය මණ්ඩල කමිටුවේ තෙවන රැස්වීමේදී මේ බව අනාවරණය වුණා.
මැදපෙරදිග යුදමය තත්ත්වය නිසා මතුව ඇති අභියෝග හමුවේ ඉන්ධන සහ බලශක්තිය කළමනාකරණය කර ගනිමින් රාජ්‍ය සේවය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා ගත් තීරණවල ප්‍රගතිය මෙහිදී විමසා බලා තිබෙනවා. ඒ අනුව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ එකඟතාවයෙන් ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට සූදානම් වන අතර 2026 අප්‍රේල් 20 වන දිනට පෙර මෙයට අදාළ චක්‍රලේඛ විධිවිධාන නිකුත් කිරීමට නියමිතයි. එමෙන්ම අප්‍රේල් 16 සහ 17 යන දිනවල මාර්ගගතව රාජකාරී කිරීමේ හැකියාව සොයා බැලීමටත්, ස්වාධීන කොමිෂන් සභාද මේ පිළිබඳව දැනුවත් කිරීමටත් මෙහිදී සාකච්ඡා වී තිබෙනවා.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මාර්තු 31 වන විට 42% ක ඩීසල් ඉතිරියක් කර ඇති අතර විදුලිය සහ ජල කළමනාකරණ වැඩසටහන්ද සාර්ථකව ක්‍රියාත්මක කර තිබෙනවා. මීළඟ රැස්වීමට පෙර සියලුම ආයතන තමන් ඉතිරි කරගත් බලශක්ති ප්‍රමාණය වාර්තා කළ යුතු අතර අප්‍රේල් 07 සහ 09 යන දිනවල පාසල් මට්ටමින් බලශක්ති කළමනාකරණය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීමට නියමිතයි. එමෙන්ම විශ්වවිද්‍යාල හැකි අවස්ථාවලදී මාර්ගගතව ක්‍රියාත්මක වන අතර ප්‍රවාහන, ඩිජිටල් ආර්ථික සහ අධිකරණ ඇතුළු බොහෝ අමාත්‍යාංශ අත්‍යවශ්‍ය සේවක ප්‍රමාණයක් පමණක් ගෙන්වා ගනිමින් සේවා අඛණ්ඩව පවත්වාගෙන යනවා. මීට අමතරව ජල පරිභෝජනය අපතේ යාම වළක්වා ගැනීමට ජල සම්පාදන මණ්ඩලය සහ ‘ක්ලීන් ශ්‍රී ලංකා’ එක්ව වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමටත්, දෛනික බලශක්ති පරිභෝජනය සහ සංචිත ප්‍රමාණයන් අධීක්ෂණය සඳහා ‘Dashboard’ පද්ධතියක් සකස් කිරීමටත් මෙහිදී අවධානය යොමු වී තිබෙනවා.















