පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ ඇති වූ දෝෂයක් හේතුවෙන් අත්හිටුවා තිබූ ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව අද (30) සිට යළි ආරම්භ කර තිබේ. පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු තවදුරටත් සිදු කෙරෙමින් පවතින බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඒ අනුව, මේ මස 23, 24 සහ 26 යන දිනවල එක්දින සේවාව යටතේ හැඳුනුම්පත් ලබා ගැනීමට නොහැකි වූ සේවාලාභීන්ට පමණක් අද දින බත්තරමුල්ල සුහුරුපාය ප්‍රධාන කාර්යාලයෙන් හෝ පළාත් කාර්යාලවලින් සිය හැඳුනුම්පත් ලබා ගත හැකිය. අදාළ සේවාලාභීන් අවශ්‍ය සියලු ලේඛන සහිතව පැමිණිය යුතු බව දන්වා සිටියි. හෙට (31) සිට සුපුරුදු පරිදි සියලු සේවාලාභීන් සඳහා එක්දින සේවාව ක්‍රියාත්මක කිරීමට දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත.
කෙසේ වෙතත්, ලබන අප්‍රේල් මස 06 වනදා සිට දෙපාර්තමේන්තුවේ සියලුම සේවාවන් කිසිදු බාධාවකින් තොරව අඛණ්ඩව සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට හැකි වනු ඇති බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ. පද්ධති දෝෂය හේතුවෙන් මහජනතාවට සිදු වූ අපහසුතාවය පිළිබඳව දෙපාර්තමේන්තුව සිය කනගාටුව පළ කර සිටියි.














