අයර්ලන්තයේ ඩබ්ලින් නුවර සේවය කරන 28 හැවිරිදි ඉන්දීය සම්භවයක් සහිත වෘත්තිකයෙකු හට මහ දවල් අහඹු ලෙස එල්ල වූ ප්‍රහාරයක් පිළිබඳව තොරතුරු වාර්තා වේ. මීට පෙර වසර ගණනාවක් ඇමරිකාවේ ජීවත් වී ඇති ඇය, මෑතකදී තම සමාගමේ සේවා අවශ්‍යතාවක් මත අයර්ලන්තයට පදිංචියට පැමිණ ඇත. ඇය පවසන පරිදි, තම කාර්යාලයෙන් පිටතට පැමිණෙමින් සිටියදී නාඳුනන තරුණියක් හදිසියේම ඇයගේ මුහුණට පහරක් එල්ල කර ඇති අතර, කිසිවක් සිදු නොවූ ගාණට එතැනින් නික්ම ගොස් තිබේ. මෙම සිදුවීම සිදුවන අවස්ථාවේ අවට සිටි කිසිවෙකුත් තමන්ට සහාය වීමට හෝ එය වැළැක්වීමට ඉදිරිපත් නොවීම පිළිබඳව ඇය දැඩි කනගාටුව පළ කර ඇත.
අයර්ලන්තයේ වාර්ගික සහ වෛරී සහගත අපරාධ ඉහළ යමින් පවතින බව මෑතකාලීන දත්ත මගින් ද තහවුරු වේ. පොලිස් වාර්තාවලට අනුව 2024 වසරේදී අයර්ලන්තයේ වෛරී සහගත අපරාධ සහ සිදුවීම් 676ක් වාර්තා වී ඇති අතර, එය 2023 වසරට සාපේක්ෂව වර්ධනයකි. මෙයින් වැඩිම ප්‍රතිශතයක් එනම් 39%ක් පමණ වාර්ගික හේතූන් මත පදනම් වූ ඒවා වේ. එමෙන්ම 2024/25 කාලසීමාව තුළ උතුරු අයර්ලන්තයෙන් වාර්ගික හිංසනයන් 2,048ක් වාර්තා වී ඇති අතර, එය වසර 20කට පසු වාර්තා වූ ඉහළම අගයයන්ගෙන් එකක් ලෙස සැලකේ.
ඉන්දීය ප්‍රජාවට එල්ල වන මෙම බලපෑම හමුවේ 2025 වසරේදී ඉන්දීය තානාපති කාර්යාලය විසින් සිය පුරවැසියන් සඳහා විශේෂ ආරක්ෂක උපදෙස් මාලාවක් ද නිකුත් කර තිබුණි. මෙම සිදුවීම සම්බන්ධයෙන් වහාම අයර්ලන්ත පොලිසියට පැමිණිලි කරන ලෙස බොහෝ දෙනා ඇයට උපදෙස් දී ඇති අතර, එරට රජය ද නව වෛරී අපරාධ මර්දන නීති මගින් මෙවැනි ක්‍රියාවලට දැඩි දඬුවම් ලබා දීමට පියවර ගනිමින් සිටී.















