27 April 2024
#සංවර්ධන

රාජපක්ෂ යුගයේදී අපරාධ 55,000 ක් වෙලා

2013 වසරේ, ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සහ ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ කාලයේ අපරාධ 55,000 ක් සිදුවී තිබෙන බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද(22) දින අමාත්‍යාංශය යටතේ කතරගම ප‍්‍රදේශයේ සිදු කෙරෙන සංවර්ධන ව්‍යාපෘතීන් විවෘත කිරීමේ අවස්ථාවන්වලට එක්වෙමින්.

පාතාල ලෝකයට හෝ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට රජයේ මැති ඇමතිලාගේ සම්බන්ධකම් තිබෙනවා නම් ඔප්පු කරලා පෙන්වන්න, ඒ සඳහා රජය ඍජුව කි‍්‍රයාත්මක වෙන්න අප බැඳී සිටින බව හෙතෙම පැවසිය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, “අපරාධ සහ මත්ද්‍රව්‍ය වැඩිවෙලාය කියන චෝදනා සංඛ්‍යා ලේඛන සමග ගත්විට එය සත්‍යයක් නොවෙයි. මෙරට වැඩිම අපරාධ සංඛ්‍යාවක් සිදු වී තිබෙන්නේ 2013 ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සහ ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ කාලයේ. එය සංඛ්‍යාත්මක වශයෙන් 55,000 ක්. 2017 වර්ෂයේ අපරාධ සිදුවී තිබෙන්නෙ 30000 යි. 55,000 යටතේ මිනීමැරුම්, පැහැර ගැනීම්, මත්ද්‍රව්‍ය ජාවාරම් ආදිය සිදුවුණා. ඒ වගේම එම කාලයේ ආණ්ඩුවට සම්බන්ධ පාතාල ලෝකය, මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෝ, එතනෝල් ජාවාරම්කාරයෝ ආරක්‍ෂා උනා. ආණ්ඩුවට සම්බන්ධ නැති පාතාලය මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෝ, එතනෝල් ජාවාරම්කාරයෝ මර්ධනය කළා. ඒ අනුව ආණ්ඩුවට සම්බන්ධ නැති අයව මර්ධනය කලා.

අද එහෙම නැහැ, එහෙම දෙයක් තිබෙනවා නම් අසුවල් දේ දේශපාලනඥයා කියලා සාක්ෂි සාධක ඇතිව ඉදිරිපත් කළ යුතුයි. එවිට රජය එයට නීතිය කි‍්‍රයාත්මක කරනවා. මෙම ආණ්ඩුවේ තිබෙන විශේෂත්වය තමයි මැතිඇමතිවරුන්ට පවා ඍජුව, දැඩිව නීතිය කි‍්‍රයාත්මක කරනවා. මහින්ද රාපක්ෂ මහත්මයගේ කාලයේ වගේ මත්ද්‍රව්‍ය ජාවාරම් කාරයෝ අහු උනහම ජනාධිපති යන්නෙ නැහැ ගෙදරට ඒ අයව බේරගන්න. ඒ වගේම මහපාරේ වෙඩි තියලා දාන්නේ නැහැ, සුදු වෑන් එවන්නේ නැහැ, තමන්ගේ ජාවාරම් කාරයා, නොවන ජාවාරම් කාරයෝ ආරක්‍ෂ කරන්න. ඒ වගේ දේවල් අද සිදුවන්නේ නැහැ. එදත් තිබුණේ මෙහෙමයි, අදත් මෙහෙමයි කියලා නිකන් බොරු චෝදනා කරන්න අවශ්‍ය නැහැ. අද පාතාල ලෝකයට හෝ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට රජයේ මැති ඇමතිලාගේ සම්බන්ධයක් ඔප්පු වෙලා නැහැ. පුලූවන්නම් ඔප්පු කරලා පෙන්වන්න ඒ සඳහා රජය ඍජුව කි‍්‍රයාත්මක වෙන්න අපි බැඳී සිටිනවා“ යැයි අමාත්‍යවරයා පැවසීය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *