කාබනික කෘෂිකර්මාන්තය මුළු රටෙහිම ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගත් තීරණය දෙස මුළු ලෝකයම බලා සිටින බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පැවසූවාය.
ඇය මේ බව පැවසුවේ ඊයේ (13) පෙරවරුවේ ත්‍රිකුණාමලය පිහිටි ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපතිනි Tanja Gonggrijip සහ නෝවේජියානු තානාපතිනි Trine Jøranli Eskedal හමුවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
එහිදී ඇය පැවසුවේ ජනාධිපතිවරයා ගත් මෙම අභීත තීන්දුව සාර්ථක වුවහොත් අපට ලෝකය ජය ගැනිමට හැකි බවයි.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු ආණ්ඩුකාරවරිය මෙසේ ද පැවසුවාය. “ අපේ ජනාධිපතිතුමා මුළු රටම කාබනික කාෂිකර්මාන්තයට යොමු විය යුතු බවට ගත් තින්දුව දෙස මුළු ලෝකයම බලන් ඉන්නවා. අපිට අවස්ථාව ලැබිලා තියෙනවා තිරසර පරිසර හිතකාමි කෘෂිකර්මාන්තය සිදු කරන්න. ජනාධිපතිතුමා නොපැකිලිව ඒ අභීත තීන්දුව ගත්තා.එය සාර්ථක වුනොත් අපිට ලෝකය ජය ගන්න පුළුවන්. වස විසෙන් තොර කෘෂිකාර්මික වෙළඳපොළට ලෝකයේ හොද තැනක් තිබෙනවා. නෙදර්ලන්ත සහ නෝවේජියානු තානාපතිවරුන් එක්කත් අපි පළාතේ කෘෂිකර්මාන්ත කටයුතු සහ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කර ගන්නා අයුරු කතා කළා.දේශිය ආයුර්වේදය හරහා සංචාරක කටයුතු පුළුල් කර ගැනීම පිළිබඳවද අපි කතා කළා.” යැයි ද ආණ්ඩුකාරවරිය කියා සිටියාය.
මේ අවස්ථාව සදහා ප්‍රධාන ලේකම් තුසිත පී. වනිගසිංහ, ආණ්ඩුකාර ලේකම් එල්.පී. මදනායක මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
මහේෂ් කිර්තිරත්න