27 April 2024
#දේශීය

ඉන්දීය යුද හමුදාපතිවරයා අග්‍රාමාත්‍යවරයා හමුවෙයි

ඉන්දීය යුද හමුදාපති ජනරාල් මනෝජ් මුකුන්ද් නාරවානේ මහතා ඊයේ (13) දින පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවිය.

දෙරටේ හමුදාවන් අතර විශිෂ්ට සබඳතාවක් ඇති බව මෙම හමුව ආරම්භයේදී ම ජනරාල් නාරවානේ අග්‍රාමාත්‍යවරයා හමුවේ පවසා සිටියේය.

ධනාත්මකව පවතින මෙම අන්තර් ක්‍රියාකාරීත්වය, දෙරටේ ජනතාව සහ සෑම තරාතිරමක ද්විපාර්ශ්වික සබඳතා තහවුරුවීමට උපකාරී වී ඇතැයි ද හෙතම කියා සිටියේය.

උසස් පුහුණුවීම් ලබා දීම ඇතුළුව ඉන්දියානු හමුදාව ඉතා දිගු කාලයක පටන් ශ්‍රී ලංකාවට ලබා දෙන අන්‍යෝන්‍ය සහයෝගය පිළිබඳව මෙහි දී අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රසාදයට ලක්විය.

මෙම සංචාරය අතරතුර ජනරාල් නාරවානේ අනුරාධපුර තිසා වැව පිහිටි ශ්‍රී ලංකා යුද හමුදා සේවා බලකා පුහුණු පාසලට රිය පැදවීමේ සහ වෙඩි තැබීම් පුහුණුවීම් සඳහා භාවිත කළ හැකි ආදර්ශ තාක්ෂණික පුහුණු උපකරණ කට්ටල (simulators) ප්‍රදානය කර ඇත.

මේ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා හමුවේ අදහස් පළ කළ ජනරාල් නාරවානේ අනාගතයේ දී විශේෂයෙන් පුහුණු ක්ෂේත්‍රය තුළ තාක්ෂණය විශාල කාර්ය භාරයක් ඉටු කරනු ඇතැයි විශ්වාසය පළ කළේය.

ස්ථාවර හමුදාවක් නඩත්තු කිරීම සඳහා වන අධික පිරිවැය සැලකිල්ලට ගැනීමේ දී ආදර්ශ තාක්ෂණික පුහුණු උපකරණ කට්ටලවලින් ඉතා ප්‍රයෝජනවත් කාර්යයක් ඉටු කර ගත හැකි බව ජනරාල් නාරවානේ පෙන්වා දුන්නේය.

අන්තවාදය සහ ත්‍රස්තවාදය සම්බන්ධයෙන් කලාපීය වශයෙන් ලැබිය යුතු අවධානය ද මෙම හමුවේ දී සාකච්ඡාවට ලක් වු අතර රටට සේවය කිරීමෙන් පසු ප්‍රවීණයන් රැකබලා ගැනීමේ වැදගත්කම ද එහි දී අවධාරණය කෙරිණි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *