ශ්‍රී ලංකාවේ ඖෂධ නිෂ්පාදන ක්ෂේත්‍රය ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව නියාමනය කිරීම සඳහා නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) පියවර ගෙන තිබේ. අපනයන සංවර්ධන මණ්ඩලය, ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMRA) සහ මෙරට ප්‍රමුඛ පෙළේ ඖෂධ නිෂ්පාදකයින් අතර පැවති විශේෂ සාකච්ඡාවකදී මෙම තීරණය අනාවරණය විය.
අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහතා ප්‍රකාශ කළේ, මෙරට ඖෂධ නිෂ්පාදන ක්ෂේත්‍රය සතුව ඉහළ ධාරිතාවක් පැවතියද, දැනට ලැබෙන අපනයන ආදායම ප්‍රමාණවත් නොවන බවයි. 2030 වසර වන විට ශ්‍රී ලංකාව අපේක්ෂා කරන අමෙරිකානු ඩොලර් බිලියන 36ක සමස්ත අපනයන ඉලක්කය සපුරා ගැනීම සඳහා ඖෂධ ක්ෂේත්‍රය ප්‍රධාන මෙහෙවරක් ඉටු කරනු ඇතැයි ඔහු පෙන්වා දුන්නේය.
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පැවසුවේ, මෙරට සෞඛ්‍ය ප්‍රමිතීන් ආරක්ෂා කරමින්ම නිෂ්පාදකයින්ගේ ජාත්‍යන්තර අපනයන අරමුණු සාක්ෂාත් කර ගැනීමට සහාය වීමට තම අධිකාරිය කැපවී සිටින බවයි. ඖෂධ සඳහා ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ වැඩි විශ්වාසයක් දිනා ගැනීමට නම්, නියාමන ක්‍රියාවලීන් ලෝක ප්‍රමිතීන්ට අනුකූල විය යුතු බව ඔහු අවධාරණය කළේය.
මෙම සාකච්ඡාවේදී ඖෂධ නිෂ්පාදකයින් මුහුණ දෙන ප්‍රායෝගික ගැටලු වන නිෂ්පාදන ලියාපදිංචි කිරීමේ ප්‍රමාදයන්, නියාමන කටයුතු සඳහා ගතවන කාලය සහ විදේශීය වෙළෙඳපොළවල නිරන්තරයෙන් වෙනස් වන අනුකූලතා රාමුවලට (compliance landscapes) අනුවර්තනය වීමේ දුෂ්කරතා පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි. මෙම බාධාවන් ඉවත් කිරීම මගින් ක්ෂේත්‍රයේ උපරිම හැකියාවන් සාක්ෂාත් කර ගැනීමට අපේක්ෂා කරන බව බලධාරීන් සඳහන් කරයි.
















