ශ්‍රී ලංකා-අමෙරිකා සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කරමින්, අමෙරිකානු රජය විසින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට පරිත්‍යාග කරන ලද TH-57 ‘සී රේන්ජර්’ (Sea Ranger) වර්ගයේ බහුකාර්ය හෙලිකොප්ටර් යානා 10ක් මේ වන විට දිවයිනට ළඟා වී තිබේ. මුහුදු මාර්ගයෙන් රැගෙන ආ මෙම යානා තොගය ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සමස්ත බළඇණිය ශක්තිමත් කරමින් එහි මෙහෙයුම් හැකියාවන් ඉහළ නැංවීමට විශාල දායකත්වයක් වනු ඇතැයි ගුවන් හමුදා මාධ්‍ය අංශය පවසයි.
දැනට මෙම හෙලිකොප්ටර් යානා රත්මලාන ගුවන් හමුදා කඳවුර වෙත රැගෙන ගොස් ඇති අතර, එහිදී ඒවා එකලස් කිරීමේ කටයුතු ආරම්භ කර තිබේ. ඉදිරි දින කිහිපය තුළ අවශ්‍ය සියලුම තාක්ෂණික පරීක්ෂණ සහ පූර්ව මෙහෙයුම් කටයුතු අවසන් කිරීමෙන් අනතුරුව, මෙම යානා නිල වශයෙන් ගුවන් හමුදා මෙහෙයුම් සඳහා යොදවා ගැනීමට නියමිතයි.
ප්‍රධාන වශයෙන් ගුවන් නියමු පුහුණු කටයුතු සඳහා මෙම යානා භාවිත කිරීමට නියමිත අතර, ඊට අමතරව ස්වභාවික ආපදා කළමනාකරණය, සෙවීම් සහ ගලවා ගැනීමේ මෙහෙයුම් (SAR) මෙන්ම විවිධ මානුෂීය මෙහෙයුම් සඳහා මෙම හෙලිකොප්ටර් යානා භාවිත කිරීමට ගුවන් හමුදාව අපේක්ෂා කරයි.
















