එල් නිනෝ (El Nino) සංසිද්ධිය ලොව පුරා රටවල් රැසකට බලපෑම් එල්ල කර ඇති පසුබිමක, එම සංසිද්ධිය ඇරඹි පැසිෆික් සාගරයේ මේ වන විට වසර 11 කට පසුව එකවර සුළි කුණාටු තුනක් සක්‍රීය වී තිබේ. මෙම කුණාටු තත්ත්වය හේතුවෙන් හටගත් අධික වර්ෂාව සහ රළු මුහුදු ස්වභාවය නිසා හවායි දූපත් සඳහා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇත.
එල් නිනෝ බලපෑම හමුවේ චීනයට දැඩි බලපෑම් එල්ල කරමින් ‘සවුඩෙල්’ සුළි කුණාටුව ක්‍රියාත්මක වන අතර, කොළොම්බියාව ඇතුළු රටවල් කිහිපයකට නියං තත්ත්වයන් සහ දරුණු ලැව්ගිනි වාර්තා වී තිබේ.
මේ අතර, ගෝලීය එල් නිනෝ කාලගුණ විපර්යාසවල සෘජු බලපෑම ශ්‍රී ලංකාවට ද දැඩි ලෙස එල්ල වී ඇති අතර, ඒ හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 7 කට දැඩි වියළි කාලගුණයක් සහ නියං තත්ත්වයක් හටගෙන ඇත. පානීය ජලය සපයාගත නොහැකිව පවුල් 35,000 කට අධික සංඛ්‍යාවක පුද්ගලයින් 115,534 දෙනෙකු මේ වන විට පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
පොළොන්නරුව ඇතුළු ප්‍රදේශවලට මාස 4 ක් පුරා පවතින වැසි රහිත කාලගුණය නිසා ජල මූලාශ්‍ර සිඳී ගොස් ඇති අතර, මෙරට ගැඹුරුම වැව ලෙස සැලකෙන ගිරිතලේ වැවේ සහ පරාක්‍රම සමුද්‍රයේ ජල ධාරිතාව ද ඉතා පහළ මට්ටමකට බැස තිබේ. පීඩාවට පත් ජනතාවට බවුසර් මඟින් පානීය ජලය සැපයීමට බලධාරීන් පියවර ගනිමින් සිටී.














