ලොව ප්‍රමුඛතම ඖෂධ නිෂ්පාදන සමාගමක් වන එලී ලිලී (Eli Lilly), කෘතිම බුද්ධිය (AI) මඟින් ඖෂධ නිර්මාණය කරන ඉන්සිලිකෝ මෙඩිසින් (Insilico Medicine) ජෛව තාක්ෂණ සමාගම සමඟ බිලියන 2.39ක (ඇමෙරිකානු ඩොලර් බිලියන 2.75) සුවිශේෂී ගිවිසුමකට එළඹ තිබේ. කෘතිම බුද්ධිය භාවිතයෙන් සම්පූර්ණයෙන්ම නිර්මාණය කරන ලද නවීන ඖෂධ ලොව පුරා සංවර්ධනය කිරීම සහ වාණිජමය වශයෙන් ප්‍රචලිත කිරීමේ පූර්ණ අයිතිය මෙමඟින් එලී ලිලී සමාගමට හිමි වේ. මෙම හවුල්කාරිත්වය නිවේදනය කරනු ලැබුවේ පසුගිය ඉරිදා (29) දිනයේදීය.
නවීන තාක්ෂණය ඔස්සේ රෝග හඳුනා ගැනීම සහ ඒවාට පිළියම් ලෙස නව ඖෂධ අණු (Drug molecules) නිර්මාණය කිරීම සඳහා ඉන්සිලිකෝ සමාගම සිය Pharma.AI වේදිකාව භාවිතා කරයි. “ඉන්සිලිකෝ ආරම්භයේ සිටම ගැඹුරු ඉගෙනුම් (Deep learning) තාක්ෂණය ඖෂධ සොයා ගැනීම සඳහා භාවිතා කළා. එලී ලිලී සමඟ එක්ව මානව සෞඛ්‍ය ක්ෂේත්රයේ පවතින සංකීර්ණ අභියෝගවලට විසඳුම් සෙවීම අපේ අරමුණයි” යනුවෙන් ඉන්සිලිකෝ මෙඩිසින් නිර්මාතෘ ඇලෙක්ස් සවොරොන්කොව් (Alex Zhavoronkov) මහතා ප්‍රකාශ කළේය. මෙම ආයෝජනය හරහා සුව කිරීමට අපහසු රෝග සඳහා ඉතා කෙටි කලකින් සාර්ථක ඖෂධ නිපදවීමට හැකි වනු ඇතැයි වෛද්‍ය ක්ෂේත්රයේ විශ්වාසයයි.














