තමන් පෙනුමෙන් රොක් ඇන්ඩ් රෝල් සංගීතයේ රජු ලෙස සැලකෙන එල්විස් ප්‍රෙස්ලිට (Elvis Presley) සමාන බවට 2018 වසරේදී ප්‍රකාශ කළ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, පසුගිය සඳුදා ටෙනසිහි ග්‍රේස්ලන්ඩ් (Graceland) මන්දිරයේ කළ සංචාරයකදී එල්විස්ගේ සැබෑ කොණ්ඩයේ වර්ණය අසා දැඩි පුදුමයට පත්ව තිබේ. එල්විස් ප්‍රෙස්ලිගේ කළු පැහැති කොණ්ඩය ඔහුගේ ලාංඡනයක් බඳු වුවද, එය ඔහුගේ ස්වභාවික කොණ්ඩයේ වර්ණය නොවන බව එහිදී අනාවරණය විය.
මෙම සංචාරය අතරතුර ග්‍රේස්ලන්ඩ් ලේඛනාගාරයේ උප සභාපති ඇන්ජි මාර්චේස් (Angie Marchese) විසින් ජනාධිපතිවරයාට පවසා ඇත්තේ එල්විස්ගේ ස්වභාවික කොණ්ඩය රන්වන් පැහැති (Blonde) එකක් බවයි. “එල්විස්ගේ ස්වභාවික කොණ්ඩය රන්වන් පාටයි, ඔහුට තිබුණේ නිල් පාට ඇස් දෙකක්,” යනුවෙන් ඇය පැවසූ විට ට්‍රම්ප් මහත් පුදුමයෙන් “ඇත්තටම?” (Really?) යනුවෙන් විමසා තිබේ. එල්විස් ප්‍රෙස්ලි සිය කොණ්ඩය කළු පැහැයෙන් වර්ණ ගන්වා ඇත්තේ එමගින් සිනමා පටවලදී ඔහුගේ මුහුණේ ලක්ෂණ වඩාත් හොඳින් ඉස්මතු වන බව ඔහු විශ්වාස කළ බැවිනි.
මෙම පැහැදිලි කිරීමෙන් පසු “වාව්!” (Wow!) යනුවෙන් පවසමින් සිය විස්මය පළ කළ ජනාධිපතිවරයාගේ මෙම වීඩියෝව මේ වන විට සමාජ මාධ්‍ය ජාල තුළ දැඩි ලෙස සංසරණය වෙමින් පවතී. තමන් සහ එල්විස් අතර සමානකම් ඇති බව මීට පෙර පැවසූ ජනාධිපතිවරයාට එල්විස් පිළිබඳව වූ මෙම මූලික තොරතුර පවා අලුත් අත්දැකීමක් වීම බොහෝ දෙනාගේ හාස්‍යයට මෙන්ම කුතුහලයට ද හේතු වී තිබේ.















