කොවිඩ්-19 වසංගත සමයේදී ජර්මනිය විසින් ලුෆ්තන්සා ගුවන් සමාගම වෙත ලබා දුන් යුරෝ බිලියන 6ක මූල්‍ය ආධාර පැකේජය සඳහා යුරෝපා කොමිසම ලබා දී තිබූ අනුමැතිය අවලංගු කරමින් නිකුත් වූ තීන්දුව යුරෝපා සංගමයේ ඉහළම අධිකරණය අද (23) යළි තහවුරු කළේය. 2020 වසරේදී ලබා දුන් මෙම මූල්‍ය සහනාධාරය වෙළෙඳපොළ තරගකාරීත්වයට බාධාවක් බව පවසමින් අයර්ලන්තයේ රයන්එයාර් (Ryanair) ගුවන් සමාගම විසින් ගොනු කරන ලද නඩුවකට අනුව මෙම තීන්දුව ප්‍රකාශයට පත් විය.
2023 වසරේදී ලබා දුන් මුල් තීන්දුවට එරෙහිව ඉදිරිපත් වූ අභියාචනා සලකා බැලූ අධිකරණය පෙන්වා දුන්නේ, අදාළ සහනාධාර අනුමත කිරීමේදී යුරෝපා කොමිසම නීතිමය කරුණු කිහිපයක් නිසි ලෙස අනුගමනය කර නොමැති බවයි. මෙම තීන්දුව යුරෝපා කලාපයේ රාජ්‍ය ආධාර (State aid) සම්බන්ධ නීතිමය රාමුවට තීරණාත්මක බලපෑමක් එල්ල කරන අතර, විශේෂයෙන්ම ප්‍රධාන ගුවන් සමාගම් වෙත රජය මැදිහත් වී සහන සැලසීමේදී පවතින විනිවිදභාවය සහ සාධාරණත්වය පිළිබඳව මෙහිදී දැඩි අවධානයක් යොමු කර තිබේ.














