ඇමරිකානු ආයෝජන සමාගමක් වන Bain Capital, සිංගප්පූරුව කේන්ද්‍ර කරගත් Bridge Data Centres (BDC) සමාගම සතු සිය කොටස්වලින් අවම වශයෙන් 40%ක් පමණ විකිණීමට සැලසුම් කරමින් සිටින බව වාර්තා වේ. මෙම ගනුදෙනුව හරහා අදාළ දත්ත මධ්‍යස්ථාන යටිතල පහසුකම් සමාගම ඇමරිකානු ඩොලර් බිලියන 5ක අගයකට (Valuation) තක්සේරු කර ඇති බව මේ පිළිබඳ දැනුම ඇති පුද්ගලයින් උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය සඳහන් කරයි.
මෙම විකිණීමේ කටයුතු මෙහෙයවීම සඳහා Bain Capital සමාගම විසින් Citigroup සහ JPMorgan යන ප්‍රමුඛ පෙළේ බැංකු පත් කර ඇති අතර, මේ සඳහා පෞද්ගලික කොටස් අරමුදල් (Private equity funds) සහ යටිතල පහසුකම් අරමුදල් රැසක් උනන්දුව පළ කර තිබේ. කලාපීය වශයෙන් දත්ත මධ්‍යස්ථාන (Data Centres) සඳහා පවතින ඉහළ ඉල්ලුම හමුවේ මෙය ඉතා වැදගත් ආයෝජන අවස්ථාවක් ලෙස සැලකේ. මෙම ගනුදෙනුව සඳහා වන මූලික ලංසු ඉදිරිපත් කිරීම ලබන මැයි මාසයේදී සිදු කිරීමට නියමිත බව ද එම වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙයි.














