2021 වර්ෂයේ අගෝස්තු මස පැවැත්වීමට නියමිතව තිබූ අ.පො.ස. උසස් පෙළ විභාගය මේ වසරේ ම ඔක්තෝම්බර් 04වන දින සිට ඔක්තෝම්බර් 30 වන දින දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇති බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවසූයේ අද (09) අධ්‍යාපන අමාත්‍යාංශයේ දී මාධ්‍ය අමතමිනි.
එමෙන්ම 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝම්බර් මස 03වන ඉරිදා දින ත් 2021වසරට අදාළ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය 2022 ජනවාරි අවසාන සතියේ ආරම්භ කිරීමට ත් සැලසුම්කර තිබෙන බව හෙතෙම පැවසිය.
කොවිඩ් ව්‍යාප්තිය නිසා පාසල් විෂයමාලා නිර්දේශය සම්පූර්ණයෙන්ම ආවරණය කිරීම අසීරු තත්වයකට පත්වු බවත් සාමාන්‍යයෙන් වර්ෂයකට පාසලක් ක්‍රියාත්මක වෙනවා දින 200ක් බව අමාත්‍යවරයා කියා සිටියේය.
නමුත් මේ වර්ෂයේ ක්‍රියාත්මක වුණේ දින 150ක් පමණ වන අතර එය බස්නාහිර පළාතේ දින 130ට අඩු වී ඇති බව අමාත්‍යවරයා අනාවරණ කලේය.
මාර්ගගත ක්‍රමයෙන් මේ අඩුව සම්පුර්ණ කරන්න බාධාවක් වුණේ අන්තර්ජාල පහසුකම් දිවයිනේ හැම ප්රදේශයකටම එක ලෙස නොමැති වීම සහ ඒ අනුව බොහොම පරෙස්සමින් සාකච්ඡා කරලා තීරණවලට එළඹු බව අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.