27 April 2024
#දේශීය

ස්ත්‍රී – පුරුෂ සමානාත්මතාවය  පිළිබඳ ගැන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේදී සාකච්ඡාවක් 

ශ්‍රී ලංකාව තුළ ස්ත්‍රී- පුරුෂ සමාජභාවය මත පදනම් වී කරනු ලබන වෙනස්කම් සහ කාන්තාවන්ගේ අයිතිවාසිකම් කඩවීම පිළිබඳව විශේෂ අවධානය යොමු කරමින්, ස්ත්‍රී – පුරුෂ සමතාව සහ සමානාත්මතාවය තහවුරු කිරීමට සහ ඒ පිළිබඳව සොයා බලා සිය නිර්දේශ පාර්ලිමේන්තුවට වාර්තා කිරිම සඳහා වූ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පසුගියදා පාර්ලිමේන්තුවේදී පළමු වරට රැස්වී ඇත.

එම රැස්වීම සභාපතිනි ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

වර්තමානය වන වි‍ට ශ්‍රී ලංකාවේ කාන්තාවන් විශාල ප්‍රමාණයක් පීඩාවට පත්ව ඇති ක්ෂුද්‍ර මූල්‍ය ණය සම්බන්ධවද කමිටුවේ අවධානය යොමු විය. එහිදී අවධාරණය වූයේ ලංකාව තුළ ක්ෂුද්‍ර මූල්‍ය ණය නියාමනය කිරීම සඳහා වූ නියාමන අධිකාරිය නැවත බලාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව ඇති බවයි.

තේරීම් කාරක සභාවේ කාර්යභාරය සම්බන්ධයෙන් පුළුල් ලෙස සාකච්ඡා කිරීමද මෙහිදී සිදුවිය. ඒ අනුව රැකියා උසස්වීම් අවස්ථා සහ සේවා ස්ථානයේදී සිදු වන හිංසනයන් ඇතුළුව ස්ත්‍රී-පුැරුෂ සමාජභාවය මත පදනම්ව කරනු ලබන සියලු ආකාරයේ වෙනස්කොට සැලකීම පිළිබඳ කාන්තාවන්ගේ දුක්ගැනවිලි විභාග කර බැලීම කමිටුවේ මූලික කාර්යභාරය විය යුතු බවට තීරණය කරන ලදී.

වෙනස්කොට සැලකීම කාන්තාවන්ගේ සහ දැරිවියන්ගේ ජීවිත කෙරෙහි ඇතිවන සෘණාත්මක බලපෑම වැළැක්වීම පිණිස ස්ත්‍රී-පුැරුෂ සමාජභාවය ප්‍රධාන ප්‍රවාහයට ගෙන ඒ්ම සහතික කරමින් අදාළ නීති පරික්ෂා කර බැලීම සහ සමාලෝචනය කිරීම මෙම කමිටුවේ තවත් කාර්යභාරයකි.

ස්ත්‍රී-පුැරුෂ සමාජභාවය අරමුණු කර ගත් සැලසුම් සකස් කිරීම සහ මූල්‍ය සම්පාදනය සහතික කරලනු පිණිස අදාළ රේඛිය අමාත්‍යාංශ සහ අධිකාරීන් දිරිමත් කිරීම ද කමිටුව විසින් සිදු කිරීමට නියමිතය.

ඊට අමතරව ජාතික, පළාත් සහ ප්‍රාදේශිය මට්ටමේ සහ රාජ්‍ය, සිවිල් සමාජ සහ පෞද්ගලික අංශවල තීරණ ගැනීමේ කණ්ඩායම් තුළ, වැඩි කාන්තා නියෝජනයක් ඇති කිරීම සඳහා පෙළඹවීම සහ ඒ වෙනුවෙන් පෙනී සිටීම කමිටුවේ කාර්යභාරයක් වේ.

ශ්‍රී ලංකාව තුළ ස්ත්‍රී-පුැරුෂ ස්ත්‍රී – පුරුෂ සමතාව සහ සමානාත්මතාවය වැඩිදියුණු කිරීම සඳහා රාජ්‍ය – පෞද්ගලික හවුල්කාරීත්වය දිරිමත් කිරීම ද මෙම කමිටුවේ කාර්යයක් වේ.

මෙම රැස්වීමට කාරක සභාවේ සභාපතිනිය වන ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන රෝහිණි කවිරත්න, හරිනි අමරසූරිය, එම්. උදයකුමාර්, සිවඥානම් ශ්‍රීතරන්, රෝහණ බංඩාර සහ කමිටුවේ ලේකම් සහ පාර්ලිමේන්තුවේ නි‍යෝජ්‍ය මහ ලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී කුෂානි රෝහණදීර ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *