මැදපෙරදිග යුද ගැටුම් ඉන්දීය සාගර කලාපය දක්වා ව්‍යාප්ත කරමින්, ඉරානය විසින් දියේගෝ ගාසියා දූපතේ පිහිටි ඇමෙරිකානු සහ බ්‍රිතාන්‍ය ඒකාබද්ධ යුද කඳවුර ඉලක්ක කර මධ්‍යම දුර විහිදුම් බැලැස්ටික් මිසයිල දෙකක් එල්ල කර තිබේ. ‘වෝල් ස්ට්‍රීට් ජර්නල්’ පුවත්පත උපුටා දක්වමින් ඇමෙරිකානු බලධාරීන් ප්‍රකාශ කළේ, මෙම මිසයිලවලින් එකක් ගුවනේදී විනාශ වී ඇති අතර අනෙක් මිසයිලය ඇමෙරිකානු යුද නෞකාවකින් නිකුත් කළ ප්‍රති-මිසයිල පද්ධතියක් (SM-3) මඟින් විනාශ කිරීමට උත්සාහ කර ඇති බවයි. කෙසේ වෙතත්, එම මිසයිලය සාර්ථකව විනාශ වූයේද යන්න පිළිබඳව මෙතෙක් නිල තහවුරු කිරීමක් ලැබී නොමැත.
අප්‍රිකාව, මැදපෙරදිග සහ ආසියාව යා කරන මධ්‍යම ඉන්දීය සාගරයේ පිහිටි මෙම දූපත ඇමෙරිකාවේ අතිශය උපායමාර්ගික යුද මධ්‍යස්ථානයක් වන අතර, ඉරාකය සහ ඇෆ්ගනිස්ථානය වැනි රටවල සිදුකළ යුද මෙහෙයුම් සඳහා ද මෙම කඳවුර ප්‍රධාන දායකත්වයක් ලබා දී තිබේ. මෙම ප්‍රහාරයත් සමඟ ඇමෙරිකාව සිය හමුදා ශක්තිය තවදුරටත් වර්ධනය කිරීමට පියවර ගෙන ඇති අතර, ‘USS Boxer’ ඇතුළු ප්‍රහාරක නෞකා තුනක් සහ තවත් මැරීන් භටයන් 2,500ක් සති තුනකට පෙර වොෂින්ටනයෙන් පිටත්ව මැදපෙරදිග බලා ගමන් ආරම්භ කර ඇත. දැනටමත් කලාපයේ රැඳී සිටින 50,000කට අධික ඇමෙරිකානු සෙබළුන්ට මෙම අමතර බලඇණි එක්වීමත් සමඟ ඉරානයට එරෙහි ඕනෑම හදිසි ක්‍රියාමාර්ගයක් සඳහා ඇමෙරිකාව සූදානම් වෙමින් පවතින බව පෙනේ.
හෝමුස් සමුද්‍ර සන්ධියේ නාවික ගමන් මාර්ග ආරක්ෂා කිරීම සඳහා ඇමෙරිකානු ගුවන් හමුදාවේ A-10 ‘වෝර්තොග්’ යානා සහ හෙලිකොප්ටර් යානා යොදා ගනිමින් ඉරාන ඩ්‍රෝන සහ නාවික යාත්‍රාවලට ප්‍රහාර එල්ල කිරීම ද මේ වන විට වේගවත් කර තිබේ. ඉරානය සතුව කිලෝමීටර් 4,000ක පමණ දුරකට විදිය හැකි මිසයිල පවතින බව මෙම ප්‍රහාරයෙන් තහවුරු වී ඇති අතර, එය ශ්‍රී ලංකාව ඇතුළු ඉන්දීය සාගර කලාපයේ අනෙකුත් රටවල ආරක්ෂාව පිළිබඳව ද නව කතාබහක් නිර්මාණය කර ඇත. විශේෂයෙන්ම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ පක්ෂ නායකයන් අතර පැවති සාකච්ඡාවේදී ද මෙවැනි ගෝලීය ආරක්ෂක අවදානම් හමුවේ ශ්‍රී ලංකාව ගත යුතු පියවර පිළිබඳව අවධානය යොමු විය.














