අන්දමන් මුහුදේදී සරණාගතයින් රැගත් බෝට්ටුවක් පෙරළීමෙන් රොහින්ග්‍යා සරණාගතයින් සහ බංග්ලාදේශ ජාතිකයන් 250 දෙනෙකු පමණ අතුරුදන් වී ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය වාර්තා කරයි. පිරිමින්, කාන්තාවන් සහ ළමුන් රැගත් මෙම බෝට්ටුව අධික පිරිසක් පැටවීම සහ රළු මුහුද හේතුවෙන් අනතුරට පත්ව ඇති බව එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය (UNHCR) පවසයි. මියන්මාරයේ පවතින සිවිල් යුද්ධයෙන් බේරී වඩා හොඳ ජීවිතයක් සොයා ඉන්දුනීසියාව බලා යාත්‍රා කරමින් සිටි පිරිසක් මෙලෙස අනතුරට මුහුණ දී ඇත.
මෙම අනතුරින් දිවි ගලවා ගත් පුද්ගලයන් නව දෙනෙකු බංග්ලාදේශ වෙරළාරක්ෂක බලකාය විසින් බේරාගෙන ඇති අතර, ඉන් හය දෙනෙකු මිනිස් ජාවාරම්කරුවන් බවට සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. බේරුණු පුද්ගලයෙකු ප්‍රකාශ කර ඇත්තේ මැලේසියාවේ රැකියා ලබා දෙන බව පවසමින් ජාවාරම්කරුවන් තමන්ව මෙම බෝට්ටුවට නංවා ගත් බවයි. රොහින්ග්‍යා වැසියන් මුහුණ දෙන මෙම ඛේදජනක තත්ත්වය පිළිබඳව අවධාරණය කරන UNHCR ආයතනය, ඔවුන් සඳහා කඩිනම් ස්ථිර විසඳුමක අවශ්‍යතාවය පෙන්වා දෙයි.















