ඉඩම් ප්රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් ඉඩම් ලබාදෙන බව පවසමින් පුද්ගලයන්ගෙන් මුදල් ලබාගත් බවට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් එම කොමිෂන් සභාවේ ක්ෂේත්ර නිලධාරියෙකු ලබන මස 03 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට හැටන් වැඩබලන මහේස්ත්රාත්වරයා නියෝග කර තිබේ.
ඔක්තෝබර් 23 වැනිදා හැටන් පොලිසියේ අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන ඇති සැකකරු 48 හැවිරිදි තුෂාර සමන්ත දිසානායක නමැත්තෙකු බව වාර්තාවේ සඳහන් වේ. ඔහු පාදුක්ක ප්රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, එම කොමිෂන් සභාවේ පාදුක්ක කාර්යාලයේ සේවය කරන බවද වාර්තා වේ.
නුවරඑළිය ප්රදේශයේ සේවය කළ කාලයේදී නොර්වුඩ්, හැටන් සහ හැටන් රුවන්පුර යන ප්රදේශවල ඉඩම් ලබාදෙන බව පවසා පුද්ගලයන් 70 දෙනෙකුගෙන් පමණ මුදල් ලබාගත් බවට පැමිණිලි ලැබී ඇති බව වාර්තාවේ සඳහන්ය. මෙම සිද්ධියට අදාළව තවත් සැකකරුවෙකු වන හැටන්-දික්ඔය නගර සභාවේ ලංකා කම්කරු කොංග්රසයේ නාගරික මන්ත්රීවරයෙකු මීට පෙර අත්අඩංගුවට ගෙන තිබූ බවද වාර්තා වේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලි 70ක් පමණ ලැබී ඇති බවත්, තවත් නිලධාරීන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට නියමිත බවත් පොලිස් විමර්ශන අංශය සඳහන් කළ බව වාර්තාවේ දැක්වේ.
රක්ෂිත බන්ධනාගාරගත කළ නිලධාරියාගේ සේවය තාවකාලිකව අත්හිටුවීමට ඉඩම් ප්රතිසංස්කරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා පියවර ගෙන ඇති බවද එහි සඳහන් වේ.














