සෞඛ්‍ය දර්ශක අතින් කලාපයේ ඉහළ මට්ටමක සිටියද, නිදහසින් පසු ගතවූ දශක කිහිපය තුළ පෝෂණ ගැටලුව විසඳීමට ශ්‍රී ලංකාව තවමත් අපොහොසත් වී ඇති බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, විශේෂඥ වෛද්‍ය අනිල් ජයසිංහ මහතා පවසයි. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු අවධාරණය කළේ ශ්‍රී ලංකාව මේ වන විට මන්දපෝෂණය, අධිපෝෂණය සහ ක්ෂුද්‍ර පෝෂක ඌනතාවය යන “ත්‍රිත්ව පෝෂණ ගැටලුවට” (Triple Burden of Malnutrition) මුහුණ දී සිටින බවයි.
නවතම දත්තවලට අනුව වයස අවුරුදු පහට අඩු දරුවන් සහ පාසල් සිසුන්ගෙන් සැලකිය යුතු පිරිසක් මන්දපෝෂණයෙන් පෙළෙන අතර, එම දරුවන්ගෙන් 9.2%ක් මිටි බවින්ද, 5.8%ක් කෘශ වීමෙන්ද, 16.1%ක් බර අඩුකමින්ද පීඩා විඳිති. මීට අමතරව 0.5%ක දරුවන් ස්ථූලතාවයෙන් පෙළෙන බව හඳුනාගෙන ඇත. වැඩිහිටි ජනගහනය සැලකීමේදී කාන්තාවන්ගෙන් 24.7%ක් සහ පිරිමින්ගෙන් 23.0%ක් බර වැඩිවීමෙන් පෙළෙන අතර, කාන්තාවන් 11.5%ක් සහ පිරිමින් 6.0%ක් දැඩි ස්ථූලතාවයෙන් පසුවන බව සෞඛ්‍ය ලේකම්වරයා පෙන්වා දුන්නේය.
මෙම ගැටලුවට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ දරුවන් ක්ෂණික ආහාර (Snacks), පිරිපහදු කළ කාබෝහයිඩ්‍රේට් සහ සීනි අධික පානයන්ට ඇබ්බැහි වීම සහ වෙළඳපොලේ සෞඛ්‍යයට අහිතකර ආහාර වර්ග දරුවන් ඉලක්ක කරගනිමින් ප්‍රවර්ධනය කිරීමේ අහිතකර ආහාර පරිසරයයි.
මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය බහු-ආංශික ප්‍රවේශයක් ඔස්සේ ක්‍රියාමාර්ග ගනිමින් පවතී. එහිදී සෞඛ්‍ය සම්පන්න පාසල් ආපනශාලා පවත්වාගෙන යාම සඳහා ටෙන්ඩර් ලබාදීමේදී පෝෂණ ගුණයට ප්‍රමුඛත්වය දීම, පාරිභෝගිකයින් දැනුවත් කිරීම සඳහා ආහාර ලේබල් කිරීමේ ප්‍රතිපත්තියක් (Traffic light system) හඳුන්වා දීම, සෞඛ්‍යයට අහිතකර ආහාර පාලනය කිරීමට මූල්‍ය සහ බදු ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සහ ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ ආහාර සුරක්ෂිතතාව පිළිබඳ විශේෂ කමිටුවක් මාසිකව රැස් කිරීම යන පියවර ගෙන ඇත. මහමඟ අලෙවි කරන ආහාර සහ කුඩා වෙළඳසැල්වල ඇති සෞඛ්‍යාරක්ෂිත නොවන ආහාර පිළිබඳව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් (PHIs) මගින් නිරන්තර පරීක්ෂාවන් සිදු කරන බවත්, නීති උල්ලංඝනය කරන්නන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත් ලේකම්වරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
















