27 April 2024
#සංවර්ධන

රටේ ජනතාව ගැන සිතු නිසා ඩොලර් මිලියන 500 ක් අහිමි වුණා – රාජ්‍ය අමාත්‍ය ඉන්දික කියයි

වත්මන් රජය කිසිම විටක රටට අහිතකර ගිවිසුම්වලට එළඹෙන්නේ නැති බවත්, රටේ ජනතාව ගැන සිතා MCC ගිවිසුම බැහැර කිරීම හේතුවෙන් ඩොලර් මිලියන 500 කට ආසන්න ප්‍රමාණයක් රටට අහිමි වු බවත්, ග්‍රාමීය නිවාස සහ ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඉන්දියානු ආධාර යටතේ මෙරට නිවාස ඉදිකිරීම සඳහා පෙර පැවැති ද්විපාර්ශ්වික ගිවිසුම සංශෝධනය කොට නැවත අත්සන් කිරීමේ අවස්ථාවට අද (18) දින සහභාගි වෙමිනි.

එහිදී රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ පසුගිය රජය මෙන් වත්මන් රජය කිසිම විටක වගකීම් විරහිතව කටයුතු නොකරන බවයි.

ජනතාවට පිටුපාමින් රටේ සම්පත් නැති කරමින් රට පාලනය කළ නොහැකි බවත්, වසර 5 කින් පසු අප නැවත ජනතාව ළගට යා යුතු බවත් පැවසූ ඇමතිවරයා, යම් තැනක රටට අහිතකර දෙයක් සිදුවනවා නම් නායකයින් සමග ඒ පිළිබඳව සාකච්ඡා කොට එය නිවැරදි කර ගැනීමට කටයුතු කරන බවද වැඩිදුරටත් පැවසීය.

මෙම අවස්ථාවට ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති රේණුක පෙරේරා මහතා ඇතුළු රාජ්‍ය නිළධාරීන් පිරිසක් එක්වූහ.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *