27 April 2024
#සංවර්ධන

දේශගුණික විපර්යාසයන්ට මුහුණ දීමට IDA වෙතින් ඇ. ඩො. මි. 125 ක ණයක්

නියඟය සහ ගංවතුර වැනි දේශගුණික විපර්යාසයන්ට ගොදුරු වන ගොවීන්ට උපකාර කිරීම මූලික කොට දේශගුණික විපර්යාසයන්ට මුහුණ දීමේ හැකියාව වැඩිදියුණු කිරීම සඳහා ඇ.ඩො. මිලියන 125 ක ණය මුදලක් ලබා දීමට ලෝක බැංකුවේ ජාත්‍යන්තර සංවර්ධන සමායතනය එකඟතාවය ලබා දී ඇති බව මුදල් අමාත්‍යංශය පවසයි.

2019 අප්‍රේල් 8 සිට 14 දක්වා ඇමරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන්හිදී ලෝක බැංකු හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ රැස්වීම පැවැත්වෙන අතර මෙම ව්‍යාපෘතියට අදාළ ණය ගිවිසුම 2019 අප්‍රේල් 11 වන දින වොෂින්ටන් වේලාවෙන් 1.45 ට ශ්‍රී ලංකා ජනරජය වෙනුවෙන් මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ආර් එච් එස් සමරතුංග මහතාද ලෝක බැංකුව වෙනුවෙන් දකුණු ආසියා කලාපීය උප සභාපති හාට්විග් ෂෆර් මහතාද අත්සන් කර තිබේ.

එමෙන්ම, පරිසර හිතකාමී කෘෂිකාර්මික ක්‍රමවේදයන් හා තාක්ෂණයන් වැඩි දියුණු කිරීම, කෘෂිකාර්මික ඵලදායීතාව ඉහළ නැංවීම, වාරිමාර්ග පද්ධති පුනුරුත්ථාපනය කිරීම සහ ඉලක්කගත කුඩා පරිමාණ ගොවිපළවල් වෙත ප්‍රවේශ වීම වැඩි දියුණු කිරීම මඟින් කුඩා පරිමාණ කෘෂිකාර්මික වගාවන්හි ඵලදායීතාවය සහ දේශගුණික විපර්යාසයන්ට මුහුණ දීමේ හැකියාව වැඩිදියුණු කිරීමද මෙම ව්‍යාපෘතියෙහි මූලික අරමුණු වේ. කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු.ත පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය මඟින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබන අතර ඒ සඳහා අවශ්‍ය සහය අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් ලබාදෙනු ඇත.

මෙම ව්‍යාපෘතිය පළාත් 6 ක් ආවරණය කරමින් පොළොන්නරුව, අනුරාධපුර, හම්බන්තොට, කිළිනොච්චි, කුරුණෑගල, මොණරාගල, මුලතිව්, පුත්තලම, ත්‍රීකුණාමලය, මඩකලපුව හා අම්පාර යන දිස්ත්‍රික්ක 11 ක වර්ග කිලෝ මීටර් 4,493 ක් ආවරණය වන පරිදි එල්ලංගා පද්ධති 120 ක් ජලාශ 1215 ක් ආවරණය කරමින් ක්‍රියාත්මක වේ. එම ගං වේලි 11 වන්නේ යාන් ඔය, මාදුරු ඔය, මැණික් ගඟ, කිරිඳි ඔය, මන්දෙකල් ආරු, මී ඔය, කලා ඔය, පෙර් ආරු , මුන්දෙනි ආරු, හැඩ ඔය සහ කරඳ ඔය වේ. තවද, මෙම ප්‍ර‍දේශ වල ජීවත් වනු ලබන සියලුම පුරවැසියන් විශේෂයෙන්ම කාන්තාවන්, තරුණයින්, ළමයින් මෙන්ම ගොවි පවුල් 62,417 ක ප්‍රමාණයක් ඍජුවම මෙම ව්‍යාපෘතිය මඟින් ප්‍රතිලාභ අත්කරගනු ඇත.

මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය වන මූල්‍යාධාර ලබා දෙන මෙන් ශ්‍රී ලංකා රජය විසින් ලෝක බැංකුව වෙත ඉල්ලීමක් කරන ලද අතර මේ සඳහා ඇ.ඩො. මිලියන 125 ක ණය මුදලක් ලබා දීමට ලෝක බැංකුවේ ජාත්‍යන්තර සංවර්ධන සමායතනය ඔවුන්ගේ එකඟතාවය ලබා දී ඇති බව මුදල් අමාත්‍යංශය වැඩිදුරටත් නිවේදනය කරයි.

 

 

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *