මාධ්‍යවේදීන් ආරක්ෂා කිරීමේ කමිටුව (CPJ) විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවකට අනුව, 2025 වසරේදී තම රාජකාරියේ නිරත වෙමින් සිටියදී මාධ්‍යවේදීන් සහ මාධ්‍ය සේවකයින් 129 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර එය ඉතිහාසයේ වාර්තා වූ ඉහළම සංඛ්‍යාව වෙයි. මෙම මරණවලින් තුනෙන් දෙකකට (මාධ්‍යවේදීන් 86 දෙනෙකුට) සෘජුවම ඊශ්‍රායල හමුදා වගකිව යුතු බව එම වාර්තාව පෙන්වා දෙයි. විශේෂයෙන්ම ගාසා තීරයේ වාර්තාකරණයේ යෙදුණු පලස්තීන මාධ්‍යවේදීන් මෙහිදී වැඩි වශයෙන් ඉලක්ක වී ඇති අතර, හිතාමතාම ඉලක්ක කර සිදු කරන ලද ඝාතනවලින් (Targeted Killings) 81% කටම වගකිව යුත්තේ ඊශ්‍රායලය බව නිව්යෝර්ක් නුවර පදනම් කරගත් මෙම ස්වාධීන සංවිධානය අවධාරණය කරයි.
ඊශ්‍රායල හමුදා පවසන්නේ තමන් ඉලක්ක කරන්නේ සටන්කාමීන් පමණක් බව වුවද, CPJ වාර්තාව පෙන්වා දෙන්නේ වසර 30 කට පෙර දත්ත රැස් කිරීම ආරම්භ කළ දා සිට මේ දක්වා ලොව කිසිදු රටක හමුදාවක් විසින් සිදු නොකළ මට්ටමේ මාධ්‍යවේදී ඝාතන සංඛ්‍යාවක් ඊශ්‍රායල හමුදාව අතින් සිදු වී ඇති බවයි. ගාසා තීරයට අමතරව යේමනයේ හවුති මාධ්‍ය මධ්‍යස්ථානයකට එල්ල වූ ප්‍රහාරයකින් මාධ්‍ය සේවකයින් 31 දෙනෙකු මියයාම ද 2025 වසරේ වාර්තා වූ දෙවන දරුණුතම ප්‍රහාරය ලෙස නම් කර ඇත. ඊශ්‍රායලය විසින් මාධ්‍යවේදීන් හමාස් සංවිධානය සමඟ සබඳතා පවත්වන බවට එල්ල කරන චෝදනා “මාරාන්තික මඩගැසීම්” (Deadly Smears) ලෙස හඳුන්වන CPJ සංවිධානය, එම චෝදනා තහවුරු කිරීමට ඊශ්‍රායලය මෙතෙක් සමත්ව නැති බව ද පවසයි.
ගාසා තීරයට අමතරව සුඩානය (09), මෙක්සිකෝව (06), යුක්රේනය (04) සහ පිලිපීනය (03) මාධ්‍යවේදීන්ට වඩාත්ම අවදානම් සහිත රටවල් ලෙස 2025 වසරේදී වාර්තා වී තිබේ. යුක්රේනයේදී රුසියානු ඩ්‍රෝන ප්‍රහාරවලින් ප්‍රාන්ත පුවත්පත් කර්තෘවරියක වූ ටෙටියානා කුලික් ඇතුළු මාධ්‍යවේදීන් පිරිසක් මියගිය අතර, ගාසා තීරයේදී රොයිටර් පුවත් සේවයේ කැමරා ශිල්පී හුසාම් අල්-මස්රි සහ අල් ජසීරා මාධ්‍යවේදී අනාස් අල්-ෂරීෆ් වැනි ප්‍රකට මාධ්‍යවේදීන් ද ඊශ්‍රායල ප්‍රහාරවලින් ජීවිතක්ෂයට පත් විය. ‘දේශසීමා රහිත වාර්තාකරුවෝ’ (RSF) සංවිධානයට අනුව 2023 ඔක්තෝබර් මාසයේ සිට මේ දක්වා මාධ්‍යවේදීන් 220 කට ආසන්න පිරිසක් ගාසා යුද්ධය හේතුවෙන් මියගොස් ඇති අතර, මෙය ලෝක මාධ්‍ය ඉතිහාසයේ කළු පැල්ලමක් ලෙස සැලකේ.














