ඉරාන යුදමය වාතාවරණය හේතුවෙන් ප්ලාස්ටික් නිපදවීමට අවශ්‍ය අමුද්‍රව්‍ය සැපයුම අඩාල වීමත් සමඟ, ආසියානු කලාපය තුළ පරිසර හිතකාමී (Eco-friendly) ඇසුරුම්කරණ ක්ෂේත්‍රය වේගවත් වර්ධනයක් පෙන්නුම් කරන බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි. ප්ලාස්ටික් නිපදවීමට අවශ්‍ය තෙල් සහ පෙට්‍රොකෙමිකල් අමුද්‍රව්‍යවල මිල වසර හතරකට පසු උපරිම අගයට පැමිණීම නිසා, බොහෝ නිෂ්පාදකයින් මේ වන විට ප්ලාස්ටික් වෙනුවට කඩදාසි සහ අනෙකුත් විකල්ප ද්‍රව්‍ය කෙරෙහි අවධානය යොමු කර ඇත.
විශේෂයෙන්ම දකුණු කොරියාවේ Yonwoo වැනි ආලේපන ඇසුරුම් නිපදවන සමාගම් පවසන්නේ, යුද්ධයත් සමඟ ඔවුන්ගේ කඩදාසි පදනම් කරගත් ඇසුරුම් සඳහා පවතින ඉල්ලුම තෙගුණයකින් ඉහළ ගොස් ඇති බවයි. ලොව විශාලතම ප්ලාස්ටික් පාරිභෝගිකයින් සහ දූෂකයින් සිටින කලාපය වන ආසියාවේ, මෙම අර්බුදය ප්ලාස්ටික් භාවිතය අවම කිරීමට ලැබුණු අනපේක්ෂිත අවස්ථාවක් ලෙස ආර්ථික විශ්ලේෂකයින් දකිති. කෙසේ වෙතත්, ජපානයේ ප්ලාස්ටික් බෑග් සහ ඇසුරුම් නිපදවන්නන් අනතුරු අඟවන්නේ අමුද්‍රව්‍ය හිඟය හමුවේ සාමාන්‍ය ප්ලාස්ටික් නිෂ්පාදනවල මිල ඉදිරියේදී තවදුරටත් ඉහළ යා හැකි බවයි.














