ඇමරිකාව සහ ඉරානය අතර පැවැති සාම සාකච්ඡා අසාර්ථක වීමත් සමඟ ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල ඉහළ යාම නිසා ඉන්දීය රුපියල යළිත් පීඩනයකට ලක්ව තිබේ. සති දෙකක් පුරා පැවැති රුපියලේ ස්ථාවර භාවය අවසන් කරමින් අද (13) වෙළඳපොළ ආරම්භයේදීම අමෙරිකානු ඩොලරයක අගය රුපියල් 93.10-93.20 දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ. බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල 7% කින් ඉහළ ගොස් ඩොලර් 102 දක්වා වර්ධනය වීම මෙයට සෘජුවම බලපා ඇත.
පකිස්ථානයේ පැවැති සාකච්ඡා බිඳ වැටීමෙන් පසු හෝමුස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගත් තීරණය හේතුවෙන් ලෝක වෙළඳපොළට තෙල් සැපයීම සීමා වනු ඇති බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති. විශේෂයෙන්ම ඉන්ධන ආනයනය මත බෙහෙවින් යැපෙන ඉන්දියාව වැනි රටවලට මෙය දැඩි බලපෑමක් එල්ල කරන අතර ඉන් උද්ධමනය ඉහළ යාමේ අවදානමක් ද මතුව තිබේ. නොවැම්බර් මාසයේ පැවැත්වෙන ඇමරිකානු අතුරු මැතිවරණය දක්වා ඉන්ධන මිල මෙලෙස ඉහළ මට්ටමක පවතිනු ඇති බවට ජනාධිපති ට්‍රම්ප් අනතුරු අඟවා ඇත.
මීට අමතරව ඉන්දීය රුපියලට සහාය වීම සඳහා ඉන්දීය මහ බැංකුව (RBI) විසින් මීට පෙර හඳුන්වා දුන් ඇතැම් මූල්‍ය පියවරයන්හි කාලසීමාව පසුගිය සිකුරාදා අවසන් වීම ද රුපියල තවදුරටත් දුර්වල වීමට හේතු වී තිබේ. ඉදිරි දිනවලදී ඉන්ධන මිලෙහි සිදුවන වෙනස්වීම් මත රුපියලේ අගය තීරණය වනු ඇත.














