පවතින ආණ්ඩුවේ නායකයින් මෙරට නීතිය ක්‍රියාත්මක කරන ආයතන සඳහා පෙර නොවූ විරූ අයුරින් සෘජු බලපෑම් කරමින් සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා ප්‍රකාශ කළේය. අද (17) පක්ෂ මූලස්ථානයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු පෙන්වා දුන්නේ පොලිසිය, නීතිපති දෙපාර්තමේන්තුව, අල්ලස් කොමිසම සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුව වැනි ස්වාධීන ආයතනවලට ආණ්ඩුව අනිසි ලෙස ඇඟිලි ගසන බවයි. විශේෂයෙන්ම බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා ඉවත් කිරීම නීතිවිරෝධී සහ පක්ෂග්‍රාහී බව මානව හිමිකම් කොමිසම පවා තීන්දු කර ඇති බව ඔහු මෙහිදී අනාවරණය කළේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මෙහෙයවීම සඳහා දේශපාලන පාක්ෂිකයෙකු වූ විශ්‍රාමික නිලධාරියෙකු යොදා ගනිමින් විරුද්ධ මතධාරීන් මර්දනය කරන බවට ද ඔහු චෝදනා කළේය. එමෙන්ම අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා දේශපාලන අරමුණු වෙනුවෙන් සාක්ෂිකරුවන්ට බලපෑම් කරන තත්ත්වයට පත්ව ඇති බවත්, සිවනේසතුරේ චන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලෙයාන් මහතා අත්අඩංගුවට ගැනීම දේශපාලන දඩයමක කොටසක් බවත් සාගර කාරියවසම් මහතා සඳහන් කළේය. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පිල්ලෙයාන් මහතා අත්අඩංගුවට ගත් බව ජනාධිපතිවරයා සහ විෂයභාර අමාත්‍යවරයා ප්‍රකාශ කළ ද, අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවල ඇත්තේ වසර 19කට පෙර සිදුවූ උපකුලපතිවරයෙකු අතුරුදහන් කිරීමේ සිද්ධියක් බව ද ඔහු පෙන්වා දුන්නේය.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවභාවිත කරමින් පුද්ගල නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් උල්ලංඝනය කිරීමේ භයානක තත්ත්වයක් රට තුළ උද්ගතව ඇති බව කී මන්ත්‍රීවරයා, මේ පිළිබඳව දේශපාලන භේදයකින් තොරව අවධානය යොමු කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියේය. මෙරට ඉතිහාසයේ කිසිදු රාජ්‍ය නායකයෙකු නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට මේ අයුරින් සෘජුව බලපෑම් කර නැති බව පවසමින් ඔහු වත්මන් පාලනය දැඩි ලෙස විවේචනයට ලක් කළේය.














