ඉන්දියන් සාගරයේ පිහිටි ඇමෙරිකානු සහ බ්‍රිතාන්‍ය ඒකාබද්ධ යුද කඳවුරක් වන ඩියාගෝ ගාර්සියා ඉලක්ක කරගනිමින් ඉරානය විසින් මධ්‍යන්තර දුර විහිදුම් බැලැස්ටික් මිසයිල (Intermediate-range ballistic missiles) දෙකක් එල්ල කර ඇති බව ‘වෝල් ස්ට්‍රීට් ජර්නල්’ (Wall Street Journal) පුවත්පත වාර්තා කර තිබේ. කෙසේ වෙතත් මෙම මිසයිල දෙකම ඉලක්කය වෙත පතිත වී නොමැති බව සඳහන් වේ. එල්ල කරන ලද මිසයිල දෙකෙන් එකක් ගුවනේදීම අක්‍රිය වී කඩා වැටී ඇති අතර අනෙක් මිසයිලය විනාශ කිරීම සඳහා ඇමෙරිකානු නාවික හමුදා යුද නෞකාවක් මඟින් ‘SM-3’ වර්ගයේ ප්‍රහාරක මිසයිලයක් (Interceptor) මුදාහැර තිබේ. එම ප්‍රහාරය සාර්ථක වූයේ ද යන්න පිළිබඳව මෙතෙක් නිල තහවුරු කිරීමක් සිදු වී නොමැත.
ඉරානයේ සිට ඩියාගෝ ගාර්සියා කඳවුරට ඇති දුර කිලෝමීටර් 4,000ක් (සැතපුම් 2,500ක්) පමණ වේ. මීට පෙර ඉරානය ප්‍රකාශ කර තිබුණේ තමන් සතු මිසයිලවල උපරිම පරාසය කිලෝමීටර් 2,000ක් පමණක් වන බවයි. එබැවින් මෙම ප්‍රහාරය හරහා ඉරානය සතු මිසයිල තාක්ෂණය මීට පෙර ලෝකය දැන සිටි සීමාවට වඩා බෙහෙවින් දියුණු බව අනාවරණය වී තිබේ. ඇමෙරිකාවට සිය හමුදා කඳවුරු භාවිත කිරීමට බ්‍රිතාන්‍යය අවසර ලබා දීමෙන් පසුව ඉරානය මෙම අනතුරු ඇඟවීමේ ප්‍රහාරය එල්ල කර ඇති බව වාර්තා වේ.
මෙම සිදුවීමත් සමඟ මැදපෙරදිග කලාපයේ පමණක් නොව ඉන්දියන් සාගර කලාපයේ ද ආරක්ෂක තත්ත්වය දැඩි වී ඇති අතර ඇමෙරිකානු සහ බ්‍රිතාන්‍ය ආරක්ෂක අංශ මේ පිළිබඳව දැඩි විමසිල්ලෙන් පසුවෙයි. ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ මෙම ප්‍රහාරය ඉන්දියන් සාගරයේ බල තුලනය කෙරෙහි ද තීරණාත්මක බලපෑමක් එල්ල කළ හැකි බවයි.












