ඉරාන යුද්ධය ආරම්භ වී මාසයක් සපිරෙන්නට ආසන්න වෙමින් පවතින පසුබිමක, සිවිල් වැසියන් ඉලක්ක කරගනිමින් එල්ල වන ප්‍රහාර ජාත්‍යන්තර මානුෂීය නීතියේ සීමාවන් ඉක්මවා යමින් පවතින බව ජාත්‍යන්තර රතු කුරුස කමිටුවේ (ICRC) සභාපතිනි මිරියානා ස්පොල්ජරික් එගර් (Mirjana Spoljaric Egger) පවසන්නීය. යුරෝනිව්ස් (Euronews) පුවත් සේවය සමඟ පැවැත්වූ සුවිශේෂී සම්මුඛ සාකච්ඡාවකදී ඇය අවධාරණය කළේ, සිවිල් වැසියන්ට අත්‍යවශ්‍ය යටිතල පහසුකම් විනාශ කිරීම වහාම නතර කළ යුතු බවයි.
HRANA රාජ්‍ය නොවන සංවිධානයට අනුව, යුද්ධය ආරම්භයේ සිට මේ දක්වා ඉරානය තුළ පුද්ගලයන් 3,300කට අධික පිරිසක් මියගොස් ඇති අතර ඉන් 1,400ක්ම නිරායුධ සිවිල් වැසියන්ය. විශේෂයෙන්ම ඉරානයේ ‘සවුත් පාර්ස්’ (South Pars) ගෑස් නිසයනයට ඉශ්‍රායලය එල්ල කළ ප්‍රහාරයට ප්‍රතිචාරයක් ලෙස ඉරානය විසින් කටාර් රාජ්‍යයේ පිහිටි ලොව විශාලතම ස්වභාවික වායු පර්යන්තය වන ‘රාස් ලෆාන්’ (Ras Laffan) වෙත ප්‍රහාර එල්ල කර තිබේ. මෙම හානි යථා තත්ත්වයට පත් කිරීමට වසර ගණනාවක් ගතවනු ඇතැයි ඉංජිනේරුවෝ පවසති.
ඉරාන බලශක්ති අමාත්‍යවරයා පවසන පරිදි ඇමෙරිකානු සහ ඉශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ටෙහෙරාන් (Tehran) අගනුවර ජල සහ විදුලි සැපයුම සම්පූර්ණයෙන්ම අඩාල වී ඇත. මීට අමතරව, හෝමූස් සමුද්‍ර සන්ධියේ පිහිටි ලවණ ඉවත් කිරීමේ (Desalination) මධ්‍යස්ථානවලට එල්ල වූ ප්‍රහාර නිසා ගම්මාන 30කට අධික සංඛ්‍යාවකට ජලය අහිමි වී ඇති බව ද වාර්තා වේ. ඉරානය ද මෙයට ප්‍රතිචාර ලෙස බහරේනයේ ජල පිරිපහදු මධ්‍යස්ථාන වෙත ප්‍රහාර එල්ල කර තිබේ.
මෙලෙස දෙපාර්ශ්වයම සිවිල් ජනතාවගේ මූලික අවශ්‍යතා ඉලක්ක කරගනිමින් යුද වැදීම නිසා මානුෂීය පැවැත්මේ පදනම පවා දෙදරා යමින් පවතින බව රතු කුරුස සභාපතිනිය වැඩිදුරටත් සඳහන් කළාය.














