‘සිකාඩා’ (Cicada) යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන, දැඩි ලෙස විකෘති වූ නව කොවිඩ්-19 ප්‍රභේදයක් වන BA.3.2 ප්‍රභේදය මේ වන විට ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රාන්ත 25ක් පුරා ව්‍යාප්ත වෙමින් පවතින බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි. ඇමෙරිකානු රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය (CDC) පවසන පරිදි, කැලිෆෝනියාව, ෆ්ලොරිඩාව, මිචිගන්, නිව්යෝර්ක්, මිසූරි සහ ටෙක්සාස් වැනි ප්‍රධාන ප්‍රාන්තවල අපජල නිරීක්ෂණ සහ සායනික සාම්පල හරහා මෙම ප්‍රභේදය හඳුනාගෙන තිබේ.
මෙම ප්‍රභේදය 2022 වසරේදී පැතිර ගිය ඔමික්‍රෝන් (Omicron) BA.3 අනු-ප්‍රභේදයෙන් විකෘති වී පැමිණි අලුත්ම ප්‍රභේදයකි. එය ප්‍රථම වරට 2024 නොවැම්බර් 22 වැනිදා දකුණු අප්‍රිකාවෙන් හඳුනාගත් අතර, මේ වන විට ලොව පුරා රටවල් 23කට අධික සංඛ්‍යාවක ව්‍යාප්ත වී ඇත. විශේෂයෙන්ම ඩෙන්මාර්කය, ජර්මනිය සහ නෙදර්ලන්තය වැනි යුරෝපීය රටවල කොවිඩ් සාම්පලවලින් 30%ක්ම මෙම ‘සිකාඩා’ ප්‍රභේදය බවට වාර්තා වේ.
සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ මෙම ප්‍රභේදය ඉතා වේගයෙන් විකෘති වීමේ හැකියාවකින් යුක්ත වුවද, දැනට පවතින එන්නත් මගින් ලබා දෙන ආරක්ෂාව පිළිබඳව පර්යේෂණ තවදුරටත් සිදු කරන බවයි. ඇමෙරිකාව තුළ මෙතෙක් මෙහි ව්‍යාප්තිය අඩු මට්ටමක පැවතියද, ජාත්‍යන්තර ගුවන් ගමන් සහ සංචාරකයන් හරහා එය සීඝ්‍රයෙන් පැතිරීමේ අවදානමක් පවතින බව ඔවුහු පෙන්වා දෙති.














