ඉරානය සමඟ පවතින යුදමය තත්ත්වය මාස හයකට වඩා වැඩි කාලයක් පැවතුණහොත්, 2026 වසරේදී අප්‍රිකානු කලාපයේ දළ දේශීය නිෂ්පාදිතයේ (GDP) වර්ධනය සියයට 0.2 කින් පහත වැටිය හැකි බවට නවතම වාර්තාවක් මගින් අනතුරු අඟවා තිබේ. එක්සත් ජාතීන්ගේ නියෝජිතායතන දෙකක්, අප්‍රිකානු සංගමය සහ අප්‍රිකානු සංවර්ධන බැංකුව එක්ව මෙම වාර්තාව සකස් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ගැටුම් දිගුකාලීනව පැවතීම හේතුවෙන් නාවික ගමන් මාර්ගවලට බාධා එල්ල වීම සහ බලශක්ති මෙන්ම පොහොර සැපයුම අඩාල වීම නිසා සමස්ත අප්‍රිකානු මහාද්වීපයේම ආර්ථික වර්ධනය වේගයෙන් අඩාල වීමේ අවදානමක් පවතී. ටැන්ජියර් (Tangier) හි පැවැති එක්සත් ජාතීන්ගේ ආර්ථික කොමිසම් රැස්වීමේදී ඉදිරිපත් කළ මෙම වාර්තාවට අනුව, මෙම ගැටුම හරහා දැඩි ජීවන වියදම් අර්බුදයක් නිර්මාණය විය හැකි බව ද පෙන්වා දී තිබේ.
විශේෂයෙන්ම තෙල් මිල ඉහළ යාමටත් වඩා පොහොර හිඟය හේතුවෙන් ඇතැම් රටවල් දැඩි පීඩාවට පත්වනු ඇතැයි අපේක්ෂා කෙරේ. අප්‍රිකානු මහාද්වීපයේ සමස්ත ආනයනවලින් 16% ක් සහ අපනයනවලින් 11% ක් පමණ සිදුවන්නේ මැදපෙරදිග කලාපය සමඟ බැවින්, මෙම යුදමය තත්ත්වය වෙළඳ කටයුතුවලට සෘජු බලපෑමක් එල්ල කර ඇති බව ද එම වාර්තාවේ සඳහන් වේ.














