ඊශ්‍රායල හමුදාව අද (මාර්තු 27) අලුයම ඉරානයේ ටෙහෙරාන් අගනුවර ඉලක්ක කරගනිමින් දැවැන්ත ප්‍රහාර මාලාවක් එල්ල කර ඇති අතර, ඉරානයේ අවි නිෂ්පාදන මධ්‍යස්ථාන ඉලක්ක කරමින් ප්‍රහාර තීව්‍ර කරන බව ඔවුන් නිල වශයෙන් නිවේදනය කර තිබේ. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ඉරාන සිවිල් යටිතල පහසුකම්වලට එල්ල වන ප්‍රහාර පිළිබඳ සාකච්ඡා කිරීමට සූදානම්ව සිටියදී මෙම ප්‍රහාර එල්ල වීම විශේෂත්වයකි. මැදපෙරදිග යුද්ධයට මාසයක් සපිරෙන්නට ආසන්නව තිබියදීත් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් විසඳුමක් ලබා ගැනීමට මෙතෙක් හැකියාවක් ලැබී නොමැත.
මෙම ප්‍රහාරත් සමඟ ලෙබනනයේ බීරූට් අගනුවරින් ද දුමාරයක් මතුවන අයුරු දක්නට ලැබුණු අතර, ඉරානය විසින් එල්ල කරන මිසයිල ප්‍රහාර වැළැක්වීමට ඊශ්‍රායල ආරක්ෂක පද්ධති ක්‍රියාත්මක වීමත් සමඟ එරට පුරා අනතුරු ඇඟවීමේ සංඥා නාද වී තිබේ. මීට අමතරව කුවේට් රාජ්‍යයට සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ද ඉරානය විසින් එල්ල කළ ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර වාර්තා වී ඇත. මේ අතර එක්සත් ජනපදය විසින් සටන් විරාමයක් සඳහා යෝජනා ඉදිරිපත් කළද, ඒ සමඟම කලාපයට අතිරේක හමුදා භට පිරිස් දහස් ගණනක් කැඳවීමට පියවර ගෙන තිබේ.
හෝමුස් සමුද්‍ර සන්ධිය ඉරානයේ දැඩි ග්‍රහණයෙන් මුදා ගැනීම සඳහා අමෙරිකානු හමුදා මැදිහත් වීමේ සූදානමක් පවතින බවට ද දේශපාලන විචාරකයෝ මත පළ කරති. පවතින වාතාවරණය හමුවේ ඉරානය සහ ඇමරිකාව අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික අර්බුදය තවදුරටත් උග්‍ර වී ඇති අතර යුද්ධය තවදුරටත් ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක් මතුව ඇත.














